Monday, August 18, 2014

කළ්‍යාණ, කළණ හා කාලේන යනු කෙලෙස් නැසීමයි

මිනිසෙකු ලෙසින් උපතක් ලැබූ කෙනෙකු ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදී ක‍්‍රියා කරනවාය, ධම්මානුධම්ම පිළිවෙතින් පෙළගැසෙනවාය යන්නෙන් අදහස් කරන්නේ, උතුම් බුද්ධ ධර්මය අසා දැන අවබෝධ කරගෙන එ ධර්ම මාර්ගය භාවිතයට ගැනීමයි. ”සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ” යනුවෙන් පෙන්වා වදාළ පරිදි බුද්ධ ධර්මය යනු, භාවිතයට ගතයුතු ප‍්‍රායෝගිකවම අනුගමනය කර අත්විඳ ගත යුතු ප‍්‍රතිපදාවක් මිස අසා දැන උගතෙකු වන්නට පමණක් දේශණා කළ ධර්මයක් නොවේ. අද බොහෝ අය ධර්මය උගත් උගතුන් වෙතත් භාවිතයට ගන්නේ නැත. බුද්ධ ධර්මය දැනගත් පමණින් එ් දැනුම නිවනට හේතු නොවේ. එ් ධර්මය තුළින් සත්‍යය දැකගත යුතුය. ‘‘ජානතෝ, පස්සතෝ’’ යැයි ප‍්‍රකාශ කළේ එයයි.
බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ නව ලෝකෝත්තර සිරි සද්ධර්මය උපකාර වන්නේත් උපකාර කරගතයුතු වන්නේත් රාගය, ද්වේෂය, මෝහය යන කෙළෙස් ගති සහමුළින්ම සිතින් ඉවත්කර දමා චිත්තසංතානයේ මුල් බැස ගෙන පවතින කෙළෙස් මුල් කපා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම තම චිත්තසංථානය හා මනස පිරිසිදු කරගැනීමටය. එ් මිසක ලෞකිකත්වය තුළින් ලබාගත හැකි කාම සම්පත් උපාදානය කරගනිමින්, සුගති ලෝක වල යළි යළිත් උපදිමින්, දෙව් මිනිස් සැප සම්පත් ලබන්නට නම් නොවේ. ලෝකයෙන් එතෙර වන්නට ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට මිස ලෝකය තුළ අතරමං වන්නට මේ ධර්මය දේශණා කළා නොවේ. මෙයට බුද්ධ ධර්මය යැයි නම් කළේ රාග, ද්වේෂ, මෝහ ගති උදුරා දමා, භව උදුරා දමන්නට බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නට උපකාර කරගත යුතු ධර්මයක් නිසාමය. සංසාර ගමන, මතු උපත් බිහි කරන්නේම රාග, ද්වේෂ, මෝහ ගති මනෝමය කය තුළ ගබඩා වී, උපාදානය කරගෙන පවතින නිසයි. චිත්තසංථානයක් තුළින් ”රාග, ද්වේෂ, මෝහ ගති” යළි යළිත් බිහි වන්නේ මේ කෙළෙස් ගති මුල් බැසගෙන තමා තුළම පවතින නිසයි.
එසේ නම් මුළු බුද්ධ දේශණාවෙන්ම පෙන්වා දුන් ධම්මානු ධම්ම පරියාය, නිබ්බේදික පරියාය, වේදිතබ්බෝ ධම්ම පරියාය මඟින් විග‍්‍රහ කර පෙන්වා වදාළේ ප‍්‍රායෝගිකවම කෙළෙස් ප‍්‍රහාණය කරදමා කෙළෙස් මුල් සිඳ දමන්නට මාර්ගයයි. ආසවක්ඛ්‍යා ඥාණය අවබෝධ කරගැනීම යනු කෙළෙස් මුල් ගළවා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම සම්මා විමුක්තියට පත් වීමයි.
කළ්‍යාණ, කළණ, කාලේන, කාලාමා, කාලෝ යනාදී මාගධී පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ් කෙළෙස් නැසීම, කෙළෙස් සහමුළින්ම ඉවත් කිරීම, කෙළෙස් වලින් මිදී නිදහස් වීම, කෙළෙස් මුල් ගළවා දැමීම යන අදහසයි. කළ්‍යාණ ධර්ම සූත‍්‍රය, කළ්‍යාණ මිත‍්‍ර සූත‍්‍ර 5ක් හා කළ්‍යාණ සීල සූත‍්‍රයේත්, කුසල සූත‍්‍ර 4 කත්, කාල සූත‍්‍ර දෙකකත්, කාලාමා සූත‍්‍රයේත්, ඵග්ගුණ සූත‍්‍රයේත් තවත් සූත‍්‍ර ධර්ම විශාල ගණනකමත් කාලෙණ, කළ්‍යාණ, කළන යන පද විග‍්‍රහ වී ඇත.
කළ්‍යාණ – යන පදයෙන් විග‍්‍රහ කළේ කෙළෙස් නසන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන යන අර්ථයයි.
කළණ – යන පදයෙන් විග‍්‍රහ කළේද කෙළෙස් ප‍්‍රහාණය කරදමා, කෙළෙස් නසා දමන්නට උපකාර වන යන අර්ථයයි.
කාලේන – යනු කෙළෙස් නසන, නැති කරන යන අර්ථයයි.
කාලාමා – යනු කෙළෙස්, කළු ධර්ම සහමුළින්ම උදුරා දමා, මිදී නිදහස් වීම යන අර්ථයයි.
කාලෝ – යනු කෙළෙස් තවන, කෙළෙස් දවන, යන අර්ථයයි.
අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ එන කාල සූත‍්‍ර හා දුතිය කාල සූත‍්‍රයේත් අංගුත්තර නිකායේම ඡක්ක (6) නිපාතයේ එන ඵග්ගුණ සූත‍්‍රයේත් ”කාලේන” යන මාගධී පදය බහුලවම භාවිතා කර ඇත (කාල+න). දුතිය කාල සූත‍්‍රයේ එන මේ මාගධී පදවැල් හොඳින් විමර්ශණය කරන්න.
”කාලේන ධම්ම සවණං, කාලේන ධම්ම සාකච්ඡ, කාලේන සමථෝ, කාලේන විපස්සනා, ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ කාලා සම්මා භාවියමානෝ, සම්මා අනුපරිවත්තිය මානා, අනුපුබ්බේන ආසවානං ඛ්‍යයං පාපෙන්ති”
මෙතන කාලේන යන මාගධී පදයෙන් විග‍්‍රහ කළේ (කාලේ+න) කෙළෙස් නැසීම යන අර්ථයයි. හතර අවස්ථාවේදීම කාලේන යන පද කෙළෙස් නසන යන අර්ථයෙන්ම භාවිතා කර ඇත. නමුත් ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී ”කාලේන” යන්න ”නිසි කාලය, සුදුසු කාලය” යන ”පද+පරම” අර්ථයෙන් වැරදියට පරිවර්තනය කර ඇති බව පැහැදිළිවම දැකිය හැකිය. ”සම්මා භාවියමානෝ සම්මා අනුපරිවත්තිය මානෝ ආසවානං ඛ්‍යයා” යනුවෙන් පෙන්වා දුන්නේ කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි. සංමා කිරීම යන අර්ථයෙනි. ”කාලේන සමථෝ” යනු සමථ භාවනාවෙන්ද තාවකාලිකව කෙළෙස් දුරලා කෙළෙස් ප‍්‍රහාණය කරගත හැකි බව පෙන්වා දීමයි. ”කාලේන විපස්සනා” යනු කෙළෙස් සහමුළින්ම නසා දමන්නට විපස්සනා භාවනාව උපකාර කරගත යුතු බවයි. ”කාලේන ධම්ම සවනං” කීවේ උතුම් බුද්ධ ධර්මය ශ‍්‍රවණය කළ යුත්තේ කෙළෙස් නැසීම සඳහාය යන්නයි. ධර්මය සාකච්ඡුා කළ යුත්තේද කෙළෙස් දැන හඳුනා, කෙළෙස් ප‍්‍රහාණය කිරීම සඳහාය යන්න මේ සූත‍්‍රයේදී ඉතාම පිරිසිදුව, පැහැදිළිව දේශණා කර ඇත. ධර්මය අවශ්‍ය වන්නේ කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නටමය යන්න මෙයින් ඔප්පු වෙයි.
මේ අනුව කාල, කාලේ යනු කෙළෙස්ය. කාලේ+න යනු කෙළෙස් නැසීමය. උතුම් බුද්ධ ධර්මය අසා දැනගත යුතු වන්නේත් ධර්මය සාකච්ජා කළයුතු වන්නේත් සමථ විපස්සනාදී ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවන්හි යෙදී භාවනා කළයුතු වන්නේත් ආසව කපා දැමීමට කෙළෙස් මුල් කපා ගළවා දැමීමට සම්මා තත්ත්වයට පත්වීමට බව මෙහිදී පැහැදිළිවම තේරුම් ගත යුතුය.
බුද්ධ ධර්මය දේශණා කරන්නට බුද්ධ ධර්මය සාකච්ඡ කරන්නට හෝ සමථ විපස්සනා භාවනා කරන්නට හෝ නුසුදුසු හෝ අනිසි කාලයක් හෝ නැත. සුදුසු හෝ නිසි විශේෂ කාලයක්ද නැත. දවසේ පැය විසිහතර පුරාම මුළු ජීවිත කාලය පුරාම ලැබුණු හැම අවස්ථාවකදීම මේ සඳහා සුදුසුය. එ් නිසා මෙහි නිසි කාලයක් පෙන්වා දී නැත. බුද්ධ ධර්මයේ පෙන්වා වදාළේ ”අප්පමාදේන සම්පාදේත” යනුවෙනි.
”බුද්ධ ධර්මය” යන පදවලම ඇති පරම අර්ථය නම් ”කෙළෙස් ප‍්‍රහාණය කරන්නට කෙළෙස් උදුරා දමන්නට උපකාර වන දරාගත යුතු දේ” යන්නයි. කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර නොවන යම් දේශණාවක් වේ නම් එය බුද්ධ ධර්මයද නොවේ. එය ”කාලේන ධම්ම” කොටසට අයත් නොවේ.
මහා මංගල සූත‍්‍රයේදීත් ඔබ නිතර කියවා පුරුදු ”කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ජා” යනු කෙළෙස් නැසීමට කෙළෙස් ප‍්‍රහාණය කර දැමීමට බුද්ධ ධර්මය භාවිතා කළ යුතු බව මිස නිසි හෝ සුදුසු කාලයට යන අර්ථයක් මෙහි නැත. නිවන වසා සිටින, නිවනට ප‍්‍රතිපක්‍ෂ වූ, කෙළෙස් ප‍්‍රහාණය කර දැමීම කෙළෙස් නසා දැමීම බුද්ධ ධර්මය භාවිතා කිරීමේ ඒකායන පරමාර්ථයයි.
”කාලි” යනු කෙළෙස්ය. රාග, ද්වේෂ, මෝහ ගති ගුණයන්ය. කාලි මැණියෝ, භද්‍රකාලී දේවිය යනුවෙන් කෙළෙස් වලට අධිපති දේව සංකල්පයක් දේව ආගම්වල ඇත. රාගයට, ද්වේෂයට, මෝහයට අධිපති දේවතාවිය කාලි මෑණියන්ය. පළිගහන්නට, වෛරය පිරිමහන්නට, රාගයෙන් බැමි තද කරගන්නට, මෝහයෙන් යදින්නට, බොහෝ අය ”කාලි” පිහිට පතන බව බෞද්ධයින් නිවැරදිව තේරුම් ගත යුතුය. කුසලයක් කරගන්නට හෝ පින්කමක් කරගන්නට හෝ කාලි මෑණියන් ළඟදී හැකියාවක් නැත. එහිදී පාපයක්, අකුසලයක්ම සිද්ධ කරගත හැකි වෙයි. ”ධම්මස්සවණ කාලෝ අයං භදන්තා” යනුවෙන් හැම ධර්ම දේශකයින්වහන්සේ කෙනකුම ධර්ම දේශණාව ආරම්භයේදී ආරාධනා පාඨයක් ලෙසින් ප‍්‍රකාශ කරතත් මෙහි නිවැරදි අර්ථය දැන භාවිතා කරන බවක් නොපෙනේ. ”මේ ධර්මය අසා දැන කෙළෙස් තවන්නට, කෙළෙස් දවන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට අවධානය යොමු කරන්න” යනු මේ පාඨයේ අර්ථයයි. එසේ නැතිව ධර්මය දේශණා කරන කාලයක් මෙහිදී අර්ථ දක්වා නැත. ධර්ම දේශණාවකට සවන් දෙන්නට පැමිණි දේව, මනුස්ස දෙකොටසටම තවත් වරක් එ් බව ප‍්‍රකාශ කළ යුතු වන්නේ නැත. මේ ධර්ම දේශණාවෙන් ප‍්‍රකාශ කරන දේ අසා දැන, කෙළෙස් ප‍්‍රහාණය කරගෙන, සිත ඒකාග්ගතාවයටත්, චේතෝ විමුක්තියටත් පත්කර ගැනීම සඳහා මීට කන් යොමු කරන්න යන අර්ථය මෙහි ඇත.
වස්සාන සමයෙහි ”අයං වස්සාන කාලෝ” යනුවෙන් බොහෝ විහාරස්ථාන වලත්, ආරඤ්ඤ සේනාසන වලත් ලියා දක්වා ප‍්‍රදර්ශනය කරනු ලැබේ. මෙහි අර්ථය කෙළෙස් තවමින්, කෙළෙස් දවමින් ධම්මානු ධම්ම පතිපදාවෙන් වෙසෙන බව දැන්වීම මිසක ”මම වැසි කාලය ගතකරමි” යන වැරදි අර්ථයක් මෙහි නොවේ. එදා ගෝතම බුදුපියාණන් ජීවමානව වැඩ සිටි යුගයේ බොහෝ නවක භික්ඛුන් කර්මස්ථාන ගෙන නිදහස් තැනකට ගොස් ධම්මානුධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදී කෙළෙස් දවාහැර, මඟඵල ලබාගත්තේ මේ වස්සාන සමයේදීය. මේ අනුව ”අයං වස්සාන කාලෝ” යන්න නිවැරදිව දැන භාවිතා කරන්නේ නම් වස් සමය කෙළෙස් තැවීම සඳහාම වෙන් කරගත යුතුය. වස් අධිශ්ඨානය යනුද කෙළෙස් තැවීමට යම් වේලාවක් සිතින් වෙන්කර ගැනීමයි. අද මේ පදවැල් සම්මත කරගත් දේ මිස නිවන් මඟඵල පිණිස භාවිතා කරන කෙළෙස් තවන්නට උපකාර කරගන්නාදේ ලෙසින් භාවිතා නොවේ. ඊට හේතුව මේ පදවැල් වල ධර්ම අර්ථය යටපත්ව ගොස් සම්මත පදපරම අර්ථය ඉස්මතු වී භාවිතයට ගැනීමයි.
මාගධී බුද්ධ භාෂිතයේ කළු, කාල, කාලි, කාලේන, කාලාමා, කාලෝ, කාලං, කණ්හ ආදී සියලුම පද භාවිතා කළේත් මේ පදවලින් අර්ථ දැක්වූයේත් කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය පිළිබඳවමය.
මාගධී භාෂාවේ වේලාව, කාලය දක්වන්නට යොදාගත් පදයන් කිහිපයක්ම ඇත. ”යාමය, සමය, යුගය, කප්පය” යන පදයන් කාලය, වේලාව, අවස්ථාව දැක්වීමට යොදාගෙන ඇත. කෙටි කාලයක් දක්වන්නට සමය, යාමය යන පදද දිගු කාලයක් දක්වන්නට යුගය, කප්පය (කල්පය) යන පදයන්ද භාවිතා කර ඇත.
මේ අනුවම බුද්ධ භාෂිතයේ, බුද්ධ ධර්මයේ ගුණ විග‍්‍රහ කරන ධර්මය වන්දනා කරන ගාථා පාඨයක ”අකාලිකෝ” යන පදය සඳහන් වේ. ”අ”=යන්නෙන් අත්හැරීම, අත්මිදීම, අභාවිතය යන අර්ථය ලබා දෙයි. බුද්ධ භාෂිතයේ අත්හැරීම, ප‍්‍රහාණය කිරීම, අස්කිරීම, පෙන්වා දීමට නිතරම ”අ” යන්න යොදාගෙන ඇත. නිවන විග‍්‍රහ කළ පද 21 කම ”අ” යන්නෙන් අත්මිදීම විග‍්‍රහ කර ඇත. ”අජාතං, අමතං, අශෝකං, අභූතං, අසංකතං, අජරං, අමරං, අනුපායෝ, අනපායෝ, අසද්ධෝ, අකතඤ්ක්‍දුතේ, අනිච්චං, අනත්ථං, අප්පටිබද්ධෝ, අනනිස්සිතෝ, අරහං” මේ හැම පදයකම ”අ” යන්නෙන් අත්හැර දැමීම, අස්කර දැමීම, අභාවිතය විග‍්‍රහ කර ඇත. නිබ්බාන යනු බාන ලෙහා, බාන අත්හැර දැමීමයි. මේ අනුව ”අකාලිකෝ” යන පදයේ ධර්ම අර්ථය කෙළෙස් අත්හැර, කෙළෙස් වලින් මිදී, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන දේ බුද්ධ ධර්මය බව මෙහිදී පෙන්වාදී ඇත. මෙය කාලයකට, යුගයකට සම්බන්ධ කළ නොහැකිය.
”සංදිට්ඨිකෝ” ගුණයට පසුවම ”අකාලිකෝ” ගුණය දැක්වූයේ ”සං” (සමුදය) දැකගත් කෙනෙකුටම මිස කෙළෙස් අත්හැර, කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නට කි‍්‍රයා කරන්නට නොහැකි නිසා ”සං” නොදුටු කෙනෙකුට අකාලිකෝ වන්නට ද නොහැකි හෙයිනි. මේ අනුව ‘‘සංදිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති’’ යන ධර්මයේ සියලු ගුණයන්ගෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළේ කෙළෙස් සොයා දැන කෙළෙස් ප‍්‍රහාණය කර කෙළෙස් අත්හැර කෙළෙස් උපත ලබන කෙළෙස් මුල් ගළවා දමා සව් කෙළෙස් නසා මඟඵල ලබන්නට අනුගමනය කළ යුතු අනුපූරක වූ නිබ්බාන මාර්ගය විග‍්‍රහ කිරීම බව තේරුම් ගත යුතුය. බුද්ධ ගුණ හෝ සංඝ ගුණ හෝ යම් පුද්ගලයෙකු තුළ ප‍්‍රත්‍යක්ෂ ලෙසින් පිහිටන්නේත් ලෝකෝත්තර නිවන් සුවයට පත්වන්නේත් ධර්මයේ ගුණයන් හයම තමා තුළින්ම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදීමෙන්ම සම්පූර්ණ කරගැනීමෙනි. ධර්ම ගුණයන් අවබෝධ කර නොගත් පුද්ගලයා බුද්ධ වන්නේද නැත. සංඝ වන්නේද නැත. මේ හේතුව නිසාම බුදුපියාණන්වහන්සේද ධර්මයම ගුරුතන්හි ලා ගෞරව කළ සේක. බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කළ සේක. ධර්මයේ පිහිටා කටයුතු කරන ලෙසින්ම ලෝකයාටද අනුශාසනා කළ සේක.
මානසික ආතතිය, මෝහය, මොට්ටකම, රාගයෙන් ඇලීම, ද්වේෂයෙන් ගැටීම ආදී සියලු ළාමක ගති ගුණ මිනිසෙකු තුළින් ක‍්‍රියාත්මක වන්නේ චිත්තසංථානය කෙළෙස් වලින් කළු ධර්ම වලින් පිරී පවතින නිසාමය. තමන්ම උපාදානය කරගෙන, ගබඩා කරගෙන, තමන්ගේම චිත්තසංථානයේ පොදි ගසාගෙන පවතින මේ කෙළෙස් පොදිය දැක එ් කෙළෙස් පොදිය සිතින් අත්හැර අලුතින් කෙළෙස් උපදවීමද සහමුළින්ම නවතා දමා කෙළෙස් වලින් නිදහස් වූ තත්ත්වයට පත්වීම නිබ්බාන සච්ඡුිකිරියා තත්ත්වයයි.
”කාල කිරියා (කාල ක‍්‍රියා) කාලං කරෝති” යනුවෙන්ද මාගධී බුද්ධ භාෂාවේ බහුලවම ”කාල” පදය භාවිතා කර ඇත. කාල යනු මෙතැනද කෙළෙස් පොදිය යන්න අදහස් කෙරේ. කෙළෙස් පොදිය කරගහගෙන ගමන් කිරීම ක‍්‍රියා කිරීම කාල කිරියා, කාලං කරෝති යන්නෙහි අදහසයි. යමෙකු මරණයට පත්වන විට කෙළෙස් පොදියද කරගහගෙන මරණයට පත්වූයේ නම් ඔහු කරන්නේ මනෝමය කයෙහි තැන්පත් කරගෙන ඇති කෙළෙස් පොදියද සමගම වෙනත් ජාතියක උපත ලැබීමයි. කෙළෙස් පොදිය සහමුළින් ප‍්‍රහාණය කර සියලු කෙළෙස් බහා තැබූ අරහතුන්වහන්සේට ‘‘කාලං කරෝති’’ යන්න භාවිතා කරන්නේ නැත. ‘‘අරහතුන්වහන්සේ අපවත් වූහ’’යනුවෙන් අපි භාවිතා කරමු. උන්වහන්සේ පවැත්ම අවසන් කර, පැවැත්ම අත්හැර, අපවැත්ම යන තත්ත්වයට නිදහස් වූ කෙනෙකි.
කෙළෙස් පොදිය බහා තබන්නට නොදන්නා අසමත් පුද්ගලයා, කෙළෙස් පොදියද කරගසාගෙන සංසාරයේ අතරමංවී, මංමුළාවී සැරිසරණ බව ප‍්‍රකාශ කළේ ”කාලං කරෝති, කාලකිරියා” යන මාගධී පද වලිනි. ”කාලං කරෝති” යන පදයෙහි තවත් අර්ථයක් ඇත. මතුවට තව තවත් කෙළෙස් එකතු කරමින් කෙළෙස් පොදිය තව දුරටත් තර කරගන්නට ක‍්‍රියා කිරීම යන අර්ථයද ”කාලං කරෝති” යන පදයේ ඇත. උතුම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මාගධී පදවැල් වල මෙවැනි ඉතාම වැදගත් අර්ථ, ධර්ම ගැබ්වී ඇතත්, අද මේ පදවැල් පදපරම ලෙසින් අර්ථ ගන්වා ධර්මය විකෘති කර ඇත.
කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය යනු කෙළෙස් නසන්නට උපකාර වන කෙළෙස් නසන්නට මාර්ගය කියා දෙන අරිය උත්තමයාගේ ආශ‍්‍රය යන්නයි. එ් මිසක් අද සම්මතයෙන් හඳුන්වන යාළුවා, මිත‍්‍රයා හෝ නෑයා යන අර්ථයක් මෙහි නැත. ලෝකයෙන් එතෙර වීමට කෙළෙස් බර පහා තබන්නට සංසාර බැමි ගළවා දමන්නට උපකාර වන ආකාරයෙන් කළු නසන්නට උපකාර වන පුද්ගලයාම කළ්‍යාණ මිත‍්‍රයාම වෙයි. අතීත අනුරාධපුර යුගයේදී පවා ”කළු” යන්න කෙළෙස් නසන අර්ථයෙන් භාවිතා කළ බව පෙන්වා දෙන්නට හොඳ උදාහරණයක් ඇත.
කළු බුද්ධරක්ඛිත හිමි කළුවර රැයෙක, කළුදිය පොකුණ ළඟ, කළු තිඹිරිගහ යටදී, කාලේන ධර්ම දේශණාවක් කර, කළු නැසූ බව සඳහන් කථාව ඔබද අසන්නට ඇත. කළුදිය පොකුණ යනු කෙළෙස් පොදියක් සහිත වූ චිත්තසංථානය උපමා කොට පෙන්වීමකි. කාලේන ධර්ම දේශණාවක් කර, කෙළෙස් බිහිකිරීම උදුරා දැමූ නිසා, බුද්ධ (බු+උද්ධ) නම් විය. මෙහි සඳහන් සියලු තැන්වල ”කළු” යනු කෙළෙස් යන අර්ථයයි. කාලේන යනු කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි.
බුද්ධ දේශණාවේ නිතර භාවිතා කර ඇති කාල, කාලි, කළු, කාලාමා, කළ්‍යාණ, කළණ, කාලේන යන පද කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය කිරීම සම්බන්ධව විස්තර කිරීමට යොදාගත් පද බව නිවැරදිව තේරුම් කර ගැනීමට නොහැකි වීම නිසා අද බොහෝමයක් දෙනා පින්කම් හා කුසල් යන පද දෙකද පටලවා ගෙන ධර්මාවබෝධයෙන් තොරව සංසාර සාගරයේ අතරමංවී ඇති බවත් පැහැදිළිවම පෙන්වා දිය යුතුය.

කරණීය ධර්ම හා අකරණීය ධර්ම

”බුද්ධ ධර්මය තේරුම් ගන්න බැහැ. ධර්මය අවබෝධ කර ගන්න බැහැ. මේ ධර්මය හරිම ගැඹුරුයි. අපට මේව ගැළපෙන්නෙ නැහැ” ආදී වශයෙන් යම් කෙනෙකු හිතනවා නම්, ප‍්‍රකාශ කරනවා නම් එතැනදී බුද්ධ ධර්මය යථා පරිදි අවබෝධ කරගැනීමට තරම් තමන්ගේම මනස පිරිසිදු නැති බව අවබෝධ කරගත යුතුයි. තමන්ගේ මානසිකත්වය අපිරිසිදුයි යන්න තමන්ම දැන ගත යුතුයි. තමන්ගේම මනස මෝහයෙන්, මිච්ජා දෘෂ්ඨිවලින් උපාදානය කරගත් ප‍්‍රිය අප‍්‍රිය දේ වලින් වසාගෙන මුවහ කරගෙන සංසාර දෘෂ්ඨියකින්, ලාභ දෘෂ්ඨියකින්, ආස්වාද දෘෂ්ඨියකින් කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ කෙනෙකුගේ කිළිටි සිතකින් බුද්ධ ධර්මය වැනි පිරිසිදු උතුම් ධර්මයක් අවබෝධ කරගන්නට තරම් සුදුසු තත්ත්වයක් සිතේ නොපවතී. ඒ අනුව උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්නට, අවබෝධ කර ගැනීමට නොහැකි වීම වෙනත් කාගේවත්ම වරදක් නොවේ. තමන්ගේම වරද බවත්, තමන්ගේ මානසිකත්වය, යෝනිසෝමනසීකරණ ශක්තිය දුර්වලයි යන බවත්් මිනිසකු ලෙස තම තමන්ම තේරුම්ගත යුතුයි.
තවත් බොහෝම අය ප‍්‍රකාශ කරන්නේ ”මට අහගත්තු ධර්මය මතකයේ තියාගන්න බැහැ. සියල්ලම ටික වෙලාවකින්ම අමතක වෙලා යනවා” යනුවෙනි. එසේ නම් ඒ පුද්ගලයාත් දැනගත යුතු වන්නේ ඒ පුද්ගලයාගේම චිත්තසංථානය අනවශ්‍ය කුණු වලින්, කෙළෙස් වලින් පුරවාගෙන ඇති නිසා චිත්තසංථානය අපිරිසිදු නිසාම උතුම් ධර්මය යහපත් දේ මතක තබා ගැනීමට තමන්ට නොහැකි බවයි. චිත්තසංථානය අපිරිසිදු වීමට හේතුව ප‍්‍රිය දේට ඇලීම යන රාගයෙන් මත්වීම නිසාත්, අප‍්‍රිය දේට ගැටීම යන ද්වේෂය, වෛරය සිතේ පැවතීම නිසාත්ය. සිත අසහනයට, කම්පනයට පත් වූ විට චිත්තසංථාන තුළට ගතයුතු දේ හා නොගත යුතු දේ තීරණය කර ගැනීමට නොහැකි වීම අමතක වීම ලෙස හැඳින්වේ.
චිත්තසංථානය අපිරිසිදු වීමෙන් මනස මුවහ වේ. මනසේ සෛලයන් වැසී, මුවහ වී මනසීකරණ ශක්තිය දුර්වල වේ. අසා දැනගත් ධර්මය ආශ‍්‍රයෙන්ම දැකගතයුතු යථා තත්ත්වය යථාභුත ඥාණ දර්ශනය දැක ගැනීමටත් නොහැකි වීමට හේතුව තම තමන්ගේම මනසීකරණ ශක්තිය දුර්වල වීමයි.
බොහෝමයක්ම පෘථග්ජන පුද්ගලයින් ප‍්‍රිය අප‍්‍රිය අරමුණු නිසා රාගයෙන් ඇලී බැඳී කටයුතු කරති. ද්වේෂයෙන්, වෛරයෙන් ගැටෙති. චිත්තසංථානය තමන්ම අපිරිසිදු කර ගනී. ලේ ධාතුව කිළිටි වී, මනසත් මෝහයෙන් මුවහ කරගනී. යම් කිසි ආකාරයකින් මේ උතුම් බුද්ධ ධර්මය අහගන්නට ලැබුණොත්, ඒ පුද්ගලයා හේතුඵල ධර්මතාවය යම් තරමකින් හෝ තේරුම් ගත්තොත්, සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කරන්නට සිත පුරුදු කර ගත්තොත් ඒ පුද්ගලයාට තමන්ගේම සිත පිරිසිදු කරගන්නට ලේ ධාතුව පිරිසිදු කරගන්නට මනස පිරිසිදු කරගෙන මනසීකරණ ශක්තිය භාවිතා කරන්නට ශක්තියක් ලැබේ. මනසීකරණ ශක්තිය තමා තුළම දියුණු වූ විට කරණීය ධර්ම හා අකරණීය ධර්ම යන දෙපැත්ත වෙන්කොට තෝරා බේරා ගත හැකි වේ. සතර සතිපට්ඨානයෙහිම පිහිටා කටයුතු කරන්නටත් තමාම පුරුදු වේ. ඒ අනුව නිරෝධගාමී මාර්ගයත් සම්පූර්ණ වේ. රාග, ද්වේෂ, මෝහ ගති තමන් තුළම පවතින්නෙත් එවන් කිළිටි ගති තමාම පරිහරණය කරමින්, භාවිතා කරමින්, අකුසල් සිතකින් කටයුතු කරන්නෙත් තමන්ගේම මනස මෝහයෙන්, අවිද්‍යාවෙන් මුවහ වී පවතින නිසයි. මේ කිළිටි ගති තමන්ම එකතු කර ගත් දේවල් වේ. කැමැත්තෙන්ම එකතු කර ගත් දේවල්ය. ඒ නිසාම ඒවාට ”ගති” ලෙස හඳුන්වයි. තමන්ම එකතු කරගත් තමන්ගේම චිත්තසංථානයේ තැන්පත් වූ මුල් බැසගත් මෙවැනි ”ගති” බාහිර කාටවත් දැකිය නොහැකියි. වෙන බාහිර පුද්ගලයෙකුට ඒ ගති අස් කර, අයින් කර, ප‍්‍රහාණය කර ඉවත් කළ නොහැකියි. සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ෂාවම තමන්ම පිළිපැදිය යුතු තමන්ම අනුගමනය කළයුතු ප‍්‍රතිපදාවන් සමුහයකි. මේ ප‍්‍රතිපදාවන් තුළ ප‍්‍රායෝගිකවම භාවිතා කළයුතු හා භාවිතා නොකළ යුතු ලෙස තෝරා බේරා ගතයුතු දෙපැත්තක්ම ඇත.
”සබ්බ පාපස්ස අකරණං” යනු භාවිතා නොකළ යුතු අකරණීය ධර්මයන් කොටසයි. ”කුසලස්ස උපසම්පදා” භාවිතා කළයුතු කරණීය ධර්මයන් කොටසයි. ”සේවිතබ්බා” යනුද භාවිතා කළයුතු, සේවනය කළයුතු ධර්මයෝයි. ”අසේවිතබ්බා” යනු සේවනය නොකළ යුතු, ආශ‍්‍රය නොකළ යුතු බැහැර කළයුතු අධර්මයන් කොටසටයි. ”අස්ස” ‘‘ආන’’ යන පදවලින් බොහෝ තැන්වල පෙන්වා දුන්නේද ආශ‍්‍රය කළයුතු, ඇතුළට ගතයුතු යහපත් ධර්මයන් යන අදහස අර්ථය ඇතිවයි. ”පස්ස” ”පාන” යන පදවලින් පෙන්වා දුන්නේ සහමුළින්ම ගළවා ප‍්‍රහාණය කළ යුතු බැහැර කළයුතු අයහපත් අධර්මයන් යන අර්ථයෙනුයි.
ආශ‍්‍රය කළයුතු වන්නේ, සුදු ධර්මයන්ය. චිත්තසංථානය හා මනස යන දෙකම පිරිසිදු කරන, පවිත‍්‍ර කරවන, කුණු සළා හැර, අස් කර දමන්නට උපකාර වන ක‍්‍රියාකාරකම් ආශ‍්‍රය කළ යුතුයි. ප‍්‍රහාණය කර අස්කර දැමිය යුත්තේ කළු ධර්මයන්ය. චිත්තසංථානය කිළිටි කරන, මනස මුවහ කර, මෝහය මතු කරන කෙළෙස් ධර්මයන් සිතින්ම ගළවා සහමුළින්ම ඉවත්කර දැමිය යුතුය.
මේ කළු, සුදු යන ධර්මයන් දෙකම ඇතුළට ගැනීමටත්, පිට කිරීමටත් උපකාර කරගතහැකි දොරවල් හයක්ම හැම කෙනෙකුටම උපතින්ම ලැබී ඇත. මේ දොරවල් හයකින්ම ඇතුළට ගැනීමේ ක‍්‍රියාවත් පිටතට බැහැර කිරීමේ ක‍්‍රියාවත් යන දෙකම හැම පුද්ගලයෙකුටම පාලනය කළ හැකිය. ඇතුළට ගත යුතුදේ මොනවාද බැහැර කළයුතු දේ මොනවාද යන්න තීරණය කිරීම හා ඒ තීරණයන් ක‍්‍රියාත්මක කිරීම නම් හැම මිනිහෙකුටම එක හා සමානවම ක‍්‍රියාත්මක කළ නොහැකිය. තමාට ප‍්‍රිය දේ ඇතුළට ගැනීමත්, අප‍්‍රිය දේ බැහැර කිරීමත් පෘථග්ජන පුද්ගලයෙකුගේ සංසාර පුරුද්දයි.
කළු ධර්ම කෙළෙස් බැහැර කිරීමත්, සුදු ධර්ම චිත්තසංථානය හා මනස පිරිසිදු කරන වීතරාගී, වීතද්වේෂී, විතමෝහී ක‍්‍රියා ආශ‍්‍රයට ගැනීමත්, භාවිතයට ගැනීමත්, ධර්මාවබෝධය ලැබූ ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන පුද්ගලයෙකුගේ ප‍්‍රතිපදාවයි.
මෙය අරිය විනයෙහි, බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ආනාපාන සති භාවනාවයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා කටයුතු කළ හැකි වන්නේ මේ ආකාරයට ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට පුරුදු පුහුණු වීමෙනි.
”ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ,
සත්තානං විශුද්ධියා,
සෝකපරිද්දවා නං සමතික්කමාය,
දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය,
නිබ්බානස්ස සච්ජිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”
සතර සතිපට්ඨාන භාවනාව බුද්ධ භාෂිතයට අනුකූලව නිවැරදි ආකාරයට භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකුට මෙහි ඉහත සඳහන් වන ආනිසංස යහපත් ප‍්‍රතිඵල සියල්ලමත් නොවරදවාම ලබාගත හැකි වීම නියත වේ. මේ ඉහත සඳහන් ආනිසංස පහෙන්මත් විග‍්‍රහ වන්නේ නිවනම වේ.
”සත්තානං විශුද්ධියා” – චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත් යන දෙකම සම්පූර්ණ කර ගැනීමෙන්ම ලබා ගත යුතු ශුද්ධ පවිත‍්‍ර වීමක් චිත්ත පාරිශුද්ධියක් යෝනිසෝ මනසීකරණ ශක්තියෙන්ම ලබාගත යුතු ප‍්‍රඥා ශක්තියත් යන දෙකමත් ලබා ගැනීමට නොවරදින මාර්ගය නම් සතර සතිපට්ඨානයෙහි යෙදීමයි.
මතු නැවත නැවතත් උපත ලබයි නම් ”උප්පජ්ජති” යන තත්ත්වයට මතු මතුත් පත් වේ නම් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස නියත වශයෙන්ම තමන්ටම උරුම වේ. කුමන ආකාර වූ සුගති ලෝකයකදීත් මේ සියල්ලමත් උරුම වේ. හිමි වේ. උතුම් බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කළයුතු වන්නේ මෙවන් ප‍්‍රශ්න වලට තාවකාලිකව පැලැස්තර දමා ලෞකිකත්වය යහපත් කරගැනීමට නම් නොවේ. කුමන හෝ ලෝකයක ජීවත් වුවද එතන ජීවත් වෙන්නේ ප‍්‍රශ්න රාශියක්ම උරුම කරගෙනම වේ. කවදා හෝ මරණය උරුම වේ. ජී+වත යනු දිරාපත් වන, ගෙවී විනාශ වී මරණය කරාම ගමන් කිරීම යන අර්ථයයි. මෙසේ ජරා ජීර්ණ තත්ත්වයට පත් වීමටත් මරණයෙන්ම කෙළවර වීමටත් හේතුව කෙළෙස් වලින් හිත දූෂණය වී මනස මුවහ වී කළු ධර්ම භාවිතයෙන් තව තවත් චිත්තසංථානය කිළිටි කර ගැනීමමයි. සියලු දුක්, සියලු ප‍්‍රශ්න නැති කිරීමේ ඒකායන මාර්ගය ”ඤාණස්ස අධිගමාය – නිබ්බානස්ස සච්ඡුිකිරියාය” යන පදවලින් ධර්මයේ පෙන්වා වදාළ රාගය, ද්වේෂය, මෝහය යන කිළිටි ගති සහමුළිින්ම චිත්තසංථානයෙන් උදුරා ගළවා දමා ඉවත් කිරීමයි. බුද්ධ බවට පත්වීමද එයමයි. මෙහි ප‍්‍රායෝගික මාර්ග ප‍්‍රතිපදාව සතර සතිපට්ඨානයෙහි සිත පවත්වාගෙන කටයුතු කිරීමයි. තමා තමාවම තේරුම් ගෙන භාවිතා කළයුතු, අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගය සතර සතිපට්ඨාන භාවනාවයි.

කෙළෙස්, කළු ධර්ම හා කුණු

ආසව, අනුසය ධර්ම, අකුසල්, සමුදය ධර්මය, කළු ධර්ම, පාප කර්ම, කුණු යනාදී විවිධ පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ කෙළෙස් පිළිබඳවමයි. චිත්ත සංථානය කිළිටි වන්නේ ආගන්තුකව එකතු කරගන්නා උපක්ලේශයන් නිසාමය. මනස මුවහ වී, මොට්ට වන්නේද මේ කෙළෙස් ගති නිසාමය. ”කම්මං කණ්හං කණ්හ විපාකං” ”කම්මං සුක්ඛං සුක්ඛ විපාකං” යනුවෙන් පෙන්වා වදාළ කම්ම කොටස් දෙකම හේතුකොට ගෙන සිතක කෙළෙස් උපදවයි. කළු ධර්ම යනුවෙන්ද කුණු ලෙසින්ද මේ කෙළෙස් නම් කර ඇත.
මාගධී භාෂා ව්‍යවහාරයේ කණ්හ, කාල, කාලං, කාලි, කාලා, ක්ලේසා, කළු යන විවිධ පදවලින් විවිධ තැන්වල කෙළෙස් විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සත්ත්වයාගේ චිත්තසංථානය කිළිටි වන්නටත්, මිනිසාගේ මනස මොට්ටකර මෝහයෙන් මුවහ කරන්නටත් එකම හේතුව කෙළෙස්, චිත්තසංථානයේ ගති ලෙසින් ක‍්‍රියාත්මක වී පැවැතීමයි. සත්ත්වයාගේ මතු උපතට, පැවැත්මට, දුකට හා ජරා මරණයට හේතුවත් කෙළෙස් සහිත වූ සිතක් ක‍්‍රියාත්මකව පැවැතීමයි.
සුව අසුව දහසක් බුද්ධ ධර්මය දේශණා කරමින් සියලුම ලොව්තුරා බුදුවරයින් වහන්සේලා ලෝකයාට පෙන්වා වදාළේ මේ කෙළෙස්, කළු ධර්ම චිත්තසංථානයෙන් බැහැර කර, ඉවත් කර, අස්කර දමන්නට මාර්ගය කියා දීමත් මනස වැසී, මුවහ වී පවතින කෙළෙස් සහමුළින්ම උදුරා දමා නැවත කෙළෙස් මතු නොඋපදින ලෙසින්ම කෙළෙස් මුල් ගළවා දමන්නටත් අනුගමනය කළ යුතු නොවරදින මාර්ගය කියා දීමයි.
සතියෙහි පිහිටා, සතියෙන් යුතුව ක‍්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන පුද්ගලයාය අසතියෙන් ක‍්‍රියාකරන, අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන දුප්පඤ්ඤස්ස පුද්ගලයාය යැයි කොටස් දෙකකට බුද්ධ දේශණාවේදී මිනිසුන්ව බෙදා වෙන් කර දක්වයි. අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා කෙළෙස්, කෙළෙස් යැයි නොදනී. කෙළෙස් මුල් පිළිබඳවද නොදනී. මෙනෙහි කළ යුතු දේ සහ මෙනෙහි නොකළ යුතු දේ පිළිබඳවද නොදනී.
එවන් පුද්ගලයා අනිච්ච දේ නිච්ච සේම දකී. අනිච්ච ස්වභාවයද නොදනී. දුක්ඛ ස්වභාවයෙන් යුතු දේ සුඛ සේ සැප සේම දකී. අනත්ථ ස්වභාවයෙන් යුතු දේ අත්ථ සේ දකී. අස්මිමානයෙන්, මඤ්ඤතාවයෙන් ක‍්‍රියා කරමින් පංචස්කන්ධයම උපාදානය කරගනී. අසුබ දේ, සුබසේ, සුන්දර සේ දැක උපාදානය කරගනී. නිරන්තරවම යළි යළිත් කෙළෙස් එකතු කරගෙන චිත්තසංථානයද කිළිටි කරගනී.
එවන් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන කෙනෙකි. අසතියෙන් ක‍්‍රියා කරන්නෙකි. දුප්පඤ්ඤස්ස පුද්ගලයෙකි. කළ යුතු දේ සහ නොකළ යුතුදේ තෝරාබේරා ගන්නට නොදන්නා, මඟ හා නොමඟ නොදත් පෘථග්ජන කෙනෙකි.
යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා කෙළෙස් කෙළෙස් ලෙස නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් මුල් ද නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් යනු ප‍්‍රහාණය කළයුතු, වහාම සිතින් ඉවත් කරදමා නිදහස් විය යුතු දෙයක් සේම දකී. කෙළෙස් ප‍්‍රහාණය නොකර භාවිත කිරීමේ ආදීනව හා ආනිසංසද දකී. සම්මා දිට්ඨියට පත්වන්නටත්, යථාභූත ඥාණ දර්ශනය ලබන්නටත්, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගන්නටත් ඔහුට අවස්ථාව ලැබෙයි.
අනිච්ච දේ අනිච්ච බව යථාපරිදි දැනගනී, දැකගනී. ” නිච්ච” සංඥාව සිතින් ඉවත් කරගනී. දුක, දුක සේ යථාපරිදි දැනගනී. දැක ගනී. සුඛ සංඥාව සිතින් ප‍්‍රහාණය කර ගන්නටද හැකිවෙයි. අනත්ථ දේ අනත්ථ බව යථාපරිදි වටහා ගනී. අත්ථ සංඥාව අස්මිමානය, මමත්වය, අත්හරී. අසුබ දේ අසුබ බව දකී. සුබ සංඥාව අත්හරී.
මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නට දන්නා ඔහු මෙනෙහි නොකළ යුතු දේ සිතින් අතහැර ප‍්‍රහාණය කර නිදහස් වන්නටද දැනගනී. අනුගමනය කළයුතු ප‍්‍රතිපදාව ධම්මානුධම්ම ප‍්‍රතිපදාව තේරුම්ගත් ඔහු මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලබයි. සම්මා දෘෂ්ඨියටද පත්වෙයි. නොබෝ කලකින්ම චතු අරිය සත්‍යයන් අවබෝධ කරගත් අරිය පුද්ගලයෙකු බවටද පත්වෙයි.
මග්ගාමග්ග (මඟ හා අමඟ) ඥාණ දර්ශනයක් නොලැබූ පුද්ගලයා අරිය පර්යේෂණයන් ගැන හෝ අනරිය පර්යේෂණයන් ගැන හෝ වෙන්කොට දැකගන්නට හැකියාවක් නැති කෙනෙකි. කුසල හා අකුසල ගැනද නොදන්නා ඔහු පින් පව් ගැනද යථාවබෝධයකින් ක‍්‍රියා නොකරන්නෙකි. කුසල මූලයන් ගැන හෝ අකුසල මූලයන් ගැන හෝ කිසිසේත්ම යථාවබෝධයක් නැති නිසා කෙළෙස් පිලිබඳ නිසි අවබෝධයක් නැත. බොහෝ විටම කෙළෙස්ද වටිනා දේ ලෙසින් දකී. පින්කම් කිරීමේදී පවා අකුසලයක්ම කරගනී. සංසාර ගැටළුව ගැන කිසිම තේරුමක් ඇත්තේම නැත. තේරුම් ගන්නටද උත්සාහ නොකරයි. මේ ගැටළුව සකස් කරගත්තේ තමන්ම බවවත් ඔහු නොදනී. කෙළෙස් සහිත වූ සිතකින් කටයුතු කරන හැම මොහොතක් පාසාම මේ සංසාර ගැටළුවට යළි යළිිත් තමන් පැටළැවෙන බවක් පවා ඔහු නොදනී. කෙළෙස් තමාගේ සිත තුළම මුල් බැස ගෙන පවතී නම් කිළිටි වන්නේ තමන්ගේම චිත්තසංථානයම බවවත් ඔහු නොදනී. මේ කෙළෙස් නිසා තමාගේ මනස මුවහ වී මොට්ටයකු මෝඩයකු බවට පත්වන්නේද තමන්ම බවවත් ඔහුට නොපෙනෙයි. තමන් අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයෙකු බවට පත් වූයේ මේ කෙළෙස් (කුණු) තමාගේ චිත්තසංථානය තුළම ගබඩා වී ඇති නිසා බවද නොදනී. දුක්ඛේ අඥාණං, දුක්ඛ සමුදයේ අඥාණං යනු මෙහි අර්ථයයි.
මෙවන් කෙළෙස් ගති ඇති පුද්ගලයා තමා අපායට යන මාර්ගයේ, දුගතියට යන මාර්ගයේ ගමන් කරන බව නොදනී. අපායට යන මාර්ගය හා සුගතිට යන මාර්ගය වෙන්කොට තෝරා බේරා ගන්නට නොදත් ඔහු සංසාර ගැටළුවෙන් මිදී නිදහස් වන්නට කිසිසේත්ම නොදන්නා කෙනෙකි. දුගතිය වූ අපායත්, සුගතිය වූ කාමලෝකයත් යන දෙකම ඇත්තේ මේ ලෞකික පැවැත්ම තුළම බවත් ලෝකෝත්තර නිවන (නිබ්බාන) යනු මේ සසරට බැඳ තබන බැමි වලින්, කෙළෙස් වලින් මිදී නිදහස්වීම බවවත් ඔහුට තේරුම් ගන්නට නොහැකි වෙයි. ඒ සඳහා සිතන්නට සුදුසු ගැළපෙන මනසීකරණ ශක්තියක් ද ඔහුට නැත.
මිනිසෙකු ලෙසින් අද උපත ලබා ජීවත්වන ඔබ මේ දෙකොටසෙන් කුමන කොටසට අයිති වන්නේද? ඔබ තුළ ඇත්තේ මේ ලක්ෂණ වලින් කුමන කොටසට අයත් ගති ලක්ෂණද? දැන් එකින් එක කාරණයක් කෙරෙහිම ආවර්ජනය කර තමා තුළින්ම තමා ගැනම තමන්ම සළකා බලා තීරණයක් ගන්නට තරම් ඔබ සමත් වේ නම් මේ මිනිසත් බවට පත්වීමේ නිසි ඵල ප‍්‍රයෝජනයක්ද ඔබ ලබා ගත්තා වන්නේය.
කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් අරිය උත්තමයෙකුගෙන් පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම අසා දැන තේරුම් ගැනීම මේ සඳහා පළමුවන අවශ්‍යතාවයයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍ය ලැබෙන්නේ ඒ මාර්ගයෙනි. හේතුඵල දහමට බහා ගළපා ක‍්‍රියා කරන්නටත් ඔබට ඒ අනුව පුරුදු විය හැකිය. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නෙකු බවට පත්වීම නිසා සම්මා දාෂ්ඨියට පත් වූවෙකු බවටද පත්වෙයි. එවිට මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලැබෙයි. දැන් අපායට යන මඟත් දැනගනී. අපායෙන් මිදෙන මඟත් දැනගනී. කාමා ලෝකයත් දැනගනී. නිවනත් දැනගනී. නිවනට යන මඟත් දැක ගනී. චතු අරිය සත්‍යයන්ද අවබෝධ කරගනී.
”අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ” ආදී වශයෙන් විග‍්‍රහ කරන ලද සංසාර දුකට මුල්වන අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහය යථා පරිදි දැන් තේරුම් ගනී. විද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේදී විග‍්‍රහ කර පෙන්වා දෙන්නේ නිවන නොවන බවත් ඉන් පෙන්වා දෙන්නේ නිවන වසා සිටින නිවනට ප‍්‍රතිපක්ෂ වූ අවිද්‍යාව නිසා සසර බැම්මට බැඳෙන ආකාරයත් බව මනාව දැන් තේරුම් ගනී. අවිද්‍යා නිරෝධ පටිච්චසමුප්පාද විග‍්‍රහයත් තේරුම් ගනී. සංඛාර නිරෝධ කරමින් විඤ්ඤාණ නිරෝධ කරමින්, භව නිරෝධය තෙක්ම නිරෝධ ගාමිණී මාර්ගයම අනුගමනය කළ යුතු බවත් දැන් යථාපරිදි තේරුම් ගනී.
තෙවනුව කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මයත් තේරුම් ගනී. කුණු මුල් ගළවා සිතින් චිත්තසංථානයේ කෙළෙස් අස්කර දමන තුරාවට ”සං” උත්පාදනය වන බවත් දැක කෙළෙස් මුල් ගළවා දමන්නට අනුගමනය කළ යුතු නිවැරදි මාර්ගයම කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් නිවැරදිව අසා දැන ඒ මාර්ගයම අනුගමනය කර සම්මා විමුක්තියටම පත්විය යුතු බවද තේරුම් ගනී.
මේ අනුව අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම සත්ත්වයාගේ සංසාර දුකට මුල් වු පළමුවැනි හේතුවයි. අවිද්‍යාව, තණ්හාව, නොදන්නා කම, මෝහය ආදී සියලු ලාමක ගති සිතක දිගින් දිගටම පවතින්නේ අයෝනිසෝමනසිකාරයෙන් දිවි පැවැත්ම පවත්වාගෙන යාම නිසයි.
ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කිරීමෙන්ම යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන මග්ගේ මග්ග ඥාණයෙන් ක‍්‍රියාකරන සම්මා දිට්ඨියටද පත් වූවෙක් බවට පත්විය හැකි එවන් පුද්ගලයා ධම්මචාරී වෙයි. අධම්මචාරී නොවෙයි. සමචාරී පුද්ගලයකු වෙයි. විෂමාචාරී, අසමචාරී ගතිවලින් ඉවත් වෙයි. අකුසල කිරියා වලින් ඉවත් වී, කුසල කිරියාවන්හි යෙදෙන්නෙකු වෙයි. පාප කිරියා වලින් ඉවත් වී, පුණ්‍ය කිරියා කරන්නෙකුද වෙයි. මිච්ජා දෘෂ්ඨියෙන් ඉවත් වූ සම්මා දෘෂ්ඨියට පත් වූ කෙනෙකුද වෙයි.

ස්වභාව ධර්මය, නියාම ධර්ම හා කර්ම විග්‍රහය

ස්වභාව ධර්මය යන්නෙහි තේරුම ස්වබව යන්නයි. බව යනු බිහිකරගත්, බිහිවූ දේ, ඇති කරගත් දේ, එකතු කරගත් දේ, සිද්ධවූ දේ යන අර්ථය දෙන පදයකි. ඒ ඒ සත්ත්වයින්, පුද්ගලයින් පෙනෙන නොපෙනෙන අනන්ත අප‍්‍රමාණ ජීවීන් තම තමාම බිහිකරගත් දේ ස්වභාව ධර්මය ලෙස අපි හඳුන්වමු. ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම, ඒ ඒ සත්ත්වයාගේ, පුද්ගලයාගේ පැවැත්ම පවත්වා ගැනීම සඳහාම බිහිකරගත් දේ ස්වභාව ධර්මය ලෙසින් පොදුවේ අපි දකිමු.
ස්වභාව ධර්මයේ ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ධාතු හෝ භූත කොටස් සහ වර්ණ, ගන්ධ, රස, ඕජා නැමති ශුද්ධාෂ්ටක කොටස්ය. ශුද්ධාෂ්ටක කොටස් අටට අයිති කිසියම්ම කොටසකට කිසිම ආකාරයක බලයක්, ශක්තියක් හෝ වෙනත් ආකාරයක ස්වයංභූ හැකියාවක් ද නැත. මෙම ශුද්ධාෂ්ටක විඤ්ඤාණ ශක්තියෙන්ම එකතු කර සංඛත ලෙසින් සකස් කළ හැකි දේවල් මිස එකතු වීමේ, සකස් කිරීමේ ස්වයංක‍්‍රියා ශක්තියක් කිසිම ධාතු කොටසකට හෝ භූත කොටසකට හෝ ඇත්තේ නැත.
මේවා එකතු නොවූ ප‍්‍රාථමික අවස්ථාවේදී ගති හතරකි. එනම්,
1. තද ගතියෙන් යුත් පඨවි ගතිය.
2. ද්‍රව ගතියෙන් යුත් ආපෝ ගතිය.
3. උණුසුම් ගතියෙන් යුත් තේජෝ ගතිය.
4. සැහැල්ලු, චලනය වන ගතියෙන් යුත් වායෝ ගතියයි.
අවකාශයක් ඇති ඕනෑම තැනක මේ ගති හතර විඤ්ඤාණ ශක්තියද සමඟ එකතු වූ විට භූත වශයෙන් මහා භූත වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ සකස් වෙයි. මසැසට අපට පෙනෙන, ස්පර්ශ කරන්නට හැකි හැම දෙයක්ම මේ මූලික භූත කොටස් හතරටම අයත් ධාතු ලෙසින් ඝනීභවනය වූ දේවල්ය. මිනිසුන්, සත්ත්වයින්, ගස්, ගල්, කඳු, පර්වත, මහ මුහුද, ජලාශ ආදී සියලු දේ විඤ්ඤාණ ශක්තිය නිසාම එකතු කර සාදා සකස් කරගත් නිර්මාණයන්ය. දෙවි දේවතාවන්, පේ‍්‍රතයින්, භූතයින්, අමනුස්සයින් ආදී කොට ඇති අපමණ භූත කොටස් අපට අපේ මසැසට දැක ගත නොහැකිය. හේතුව ඒවා ඝනීභවනය නොවූ ධාතු කොටස් බවට පත් නොවූ සියුම් භූත කොටස් ලෙසම පැවතීමයි.
විඤ්ඤාණ ශක්තියෙන් උපතක් ලබන හැම සත්ත්වයෙක්ම, මිනිසෙක්ම, භූතයෙක්ම, දෙවියෙක්ම අපට පෙනුණත්, නොපෙනුණත් විශ්වයේ ඇති සතර මහා භූතවලින් කොටසක් ණයට ලබාගෙන තම ශරීරය, නිවස සාදා සකස් කරගනී. මෙසේ සතර මහා භූත වලින් යම්කිසි කොටසක් ණයට නොගත් කෙනෙකුට තම විඤ්ඤාණ ශක්තිය රඳවාගෙන යන්නට ජීවිතයක්ද පවත්වාගත නොහැකියි. එසේත් නැතිනම් විඤ්ඤාණ බීජයක් පැළවීමට නම් සතර මහා භූතයින්ගෙන් සැදුම්ලත් කෙතක් සකස් කරගත යුතුමය. මේ අනුව අපට පෙනෙන, නොපෙනෙන හැම සත්ත්වයෙක්ම, භූතයෙක්ම, හැම ද්‍රව්‍යයක්ම යම්කිසි විඤ්ඤාණ ශක්තියකින්ම සතර මහා ධාතු හෝ සතර මහා භූත කොටස්ම එකතුකර සාදා සකස් කරගත් දේවල්ය. උපදවාගත් විඤ්ඤාණ ශක්තිය ගෙවීයත්ම ඒ සකස් කරගත් සියලු දේමත් ගෙවී, විපරිණාමයට පත් වී වැනසී යාම සිදුවෙයි.
විඤ්ඤාණ ශක්තියෙන්ම සදා සකස් කරගන්නා මේ විශ්වයේ අපි දකින, නොදකින සියලු දේ නියාම ධර්ම පහකට අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම යටත්වෙයි. ස්වභාව ධර්මයේ නිර්මාතෘ වන නියාම ධර්මයකට අවනත නොවී කටයුතු කළහැකි කෙනෙක් ලොව නැත. සෑම කෙනෙක්ම දැන හෝ නොදැන නියත වශයෙන්ම නියාම ධර්මවලට යටත්විය යුතුමය. නියාම ධර්ම වෙනස් කරන්නට, සංශෝධනය කරන්නට හෝ මඟහැර කටයුතු කරන්නට හැකි කිසිම දෙවියෙක්, බ‍්‍රහ්මයෙක්, මිනිසෙක් නැත. බුදුපියාණන් වහන්සේටවත් නියාම ධර්ම වෙනස් කරන්නට ශක්තියක් හෝ බලයක් නැත. මේ නියාම ධර්මයන් තේරුම් ගෙන ඒවාට අවනත වී නියාම ධර්ම තුළම සිට බුුදුපියාණන් කළේ නියාම ධර්මයන්ට යමෙකු යටත් වන්නට හේතුව සොයා හේතුවම නැති කිරීමයි. විඤ්ඤාණ ශක්තියෙන් බිහිකරන, උපත ලබන හැම දෙයක්ම නියාම ධර්ම වලට යටත්වන නිසා විඤ්ඤාණ ශක්තිය නිරෝධ කිරීමෙන්ම පමණක් නියාම ධර්මයන්ට යටත් නොවී නිවනට, විමුක්තියට පත්විය හැකිබව බුදුපියාණන් සොයා දැන ස්වභාව ධර්මය අභිබවා යන ප‍්‍රඥා විමුක්තිය සොයා මතුකර ගන්නට සමත් වූ නිසාම බුද්ධ නම් වූ සේක.
මේ අතරම සංඛතවල ස්වරූපය වෙනස්කර ගැනීමට නම් විඤ්ඤාණ ශක්තියේ සංයුතියම (ගති) වෙනස්කරගත යුතු බවත් සොයා දැන දේශණා කළ සේක. නමුත් සංඛතයක අභ්‍යන්තර සංයුතිය වෙනස් කිරීමේ ශක්තියක් කාටවත්ම නැත. ඒවාද නියාම ධර්මයන්ට යටත්වන නිසාය. මිනිසෙකුව ඉපදී සිටින කෙනෙකුට තම ගතිගුණ ගති ලක්ෂණ වෙනස් කරගෙන විඤ්ඤාණ ශක්තිය වෙනස් කර ගෙන මතු ලබන උපතක්, වෙනත් ගති ලක්ෂණයකට පත් කර ගැනීමේ ශක්තියක් ඇත. නමුත් මිනිසාගේ හෝ බල්ලාගේ හෝ ස්වරූපය, ස්වභාවය, අභ්‍යන්තර සංයුතිය වෙනස් කිරීමේ බලයක්, හැකියාවක් විඤ්ඤාණයටද, මනසටද නැත. ඒවා නියාම ධර්මයන්ටම අනුගතවම සිදුවන හෙයිනි. මේ අනුව මනසින් කල්පනා කර මිනිසත් බවෙන් දෙව් බවටත්, බ‍්‍රහ්ම බවටත්, නිවන් දකින්නටත් මිනිසෙකුට කටයුතු කළ හැකියි. නමුත් මිනිසෙකුව උපන් කෙනෙකුගේ පැවැත්ම රඳාපවතින පෙනහළු, වකුගඩු, හෘදය වස්තුව, ලේ ගමන හෝ අභ්‍යන්තර සංයුතිය වෙනස් කර අලුත් විධියේ උපතක් බිහි කිරීමක් කරන්නට නොහැකිය. ඒ, ඒවා නියාම ධර්මවලටම යටත් වන හෙයිනි. නවීන විද්‍යාඥයින් මෙවැනි වෙනස්කම් කරන්නට යම් යම් උත්සාහයන් ගත්තද එවැනි උත්සාහයන් පවා මහා විනාශයකට මුල්වීම කාටවත් වෙනස් කළ නොහැකිය. ඒ නිසා මතු උපදින මිනිසුන් කවදා කොහේ ඉපදුනත් මිනිසාගේ ස්වරූපය, සංයුතිය සමස්ථයක් ලෙස වෙනස් කර වෙනස්ම ආකාරයේ මිනිසෙකු බිහිකළ නොහැකිය. මෙය ඉතාම ගැඹුරු සිතන්නටවත් නොහැකි තරම් සංකීර්ණ වූ ධර්මතාවයකි. ඒ අනුව විඤ්ඤාණ ශක්තියට හා මනසට ශක්තිය ඇත්තේ නියාම ධර්මයන් පහටම අවනතව නියාම ධර්මයන් පහ තුළම සිට විඤ්ඤාණ ශක්තියම නිරෝධ කර ගෙන නියාම ධර්මයන්ගේ සමස්ත බලපෑමෙන්ම නිදහස් වීමයි. නිවන විමුක්තිය යනු මෙයයි.
හැම පෘථග්ජන සත්ත්වයකුම, පුද්ගලයෙකුම, දෙවියකුම සියලුම නියාම ධර්මයන්ට යටත් විය යුතුමයි. ඊට හේතුව විඤ්ඤාණ ශක්තියක් උපද්දවා ගෙන ඒ විඤ්ඤාණ ශක්තියෙන්ම තමන් ජීවිතයක් පවත්වන නිසයි. විඤ්ඤාණ ශක්තිය නැමැති කිළිටි ශක්තිය, ගතිය තමන් තුළ ක‍්‍රියාත්මකව පවතිනා තුරාවටම නියාම ධර්මයන් පහටමත් අදාළව තමන්ටම ඵලවිපාකයන් ද උරුම වේ. එය වෙනස් කර ගත හැකි එකම පුද්ගලයාද තමාමයි. ඒ තමාම එකතු කරගත් කිළිටි ගති බැහැර කරලීමෙන්ම යි.
බීජ නියාමය පළමු වන හේතුවයි. තමන් ”කර්ම බීජ” උපදවන්නෙක් නම් ඒවා තම චිත්තසංථානයේ ම ”විඤ්ඤාණ බීජ” ලෙසින් තැන්පත් වෙයි. විඤ්ඤාණ බීජ තම මනෝමය කය තුළම තැන්පත් වී පවතී නම් ඒවා ”උත්පත්ති බීජ (සංභව) බවට පත් වී උත්පාදනය වීම උප්පජ්ජති බවට පත්වීම බීජ නියාමයට අනුවම සිදු වෙයි. තමන් උපද්දවා ගත් කර්ම බීජ වලට අනුරූපවම තමන්ගේම මතු උපත ද සිදු වෙයි. මෙය ධර්ම නියාමයයි. බීජ නියාමයයි. කර්ම නියාමයයි. සමුදය ධර්මයන් තමන් බිහි කරගන්නා තුරාවටම සංසාර ගමනේ පැවැත්ම ද දිගින් දිගටම ඇදී යයි. තමන්ගේ කැමැත්තට අනුව හෝ පැතුමට අනුව හෝ මතු උපතක් ලබාගත නොහැකිය. කර්ම බීජයට අනුරූප වූ, අනුකූල වූ උපතක් ම තමන්ට උරුම වෙයි.
උපන් හැම මිනිහෙකුගේම, සත්ත්වයෙකුගේම එකම බලාපොරොත්තුව තම ජීවිතය කැමති සේ පවත්වාගෙන යාමයි. මේ දිවිපැවැත්ම තමන් කැමති පරිදි තමන්ගේ මනාපය පරිදි පවත්වන්නට යාමේදී පවත්වා ගන්නට උත්සාහ දැරීමේදී තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ බොහෝ පව්කම් හා අකුසල කර්මයන් කරන්නටත් සිදු වන්නේය. කොතෙක් පින්කම් කළත් කෙළෙස් සහිත සිතකින් පව්කම් හා අකුසල්ද කරන්නේ නම් සංසාර ගමනෙන් හා සංසාර දුකෙන් නම් මිදී නිදහස් වීමක්ද සිදු නොවන්නේමය. අකුසල් හා පව්කම් නිසා යළි යළිත් කිළිටි වන අඳුරු වන තම චිත්තසංථානයෙන් මෙන්ම මෝහයෙන් මුලා වූ මනසින්ද කරන, කියන, හිතන බොහෝමයක් දේ රාග, ද්වේෂ, මෝහ සහිත වූ සිතකින්ම කරන ක‍්‍රියාකාරකම් බවටම පත් වෙයි. පංචකාම නීවරණ ධර්මයන් නිසා නිවන ආවරණය වන්නටත්, සංසාර ගමන දිගටම පවත්වා ගෙන යමින් දුක් විඳින්නටත් හේතුව නියාම ධර්මයන් තමන්ගේ පාලනයෙන් තොරවම ක‍්‍රියාත්මක වී ඊට අනුරූපව ඵලවිපාකද ආපසු තමන්ටම උරුම කර දීමයි.
”තමන් පෙර කරන ලද කර්මය නිසාම සියල්ල සිදු වේ.” (පුබ්බේ කථ හේතු) ”ඊශ්වරයා හෝ මහා බ‍්‍රහ්මයා හෝ නිර්මාණය කර දුන් දේ අපට දැන් වෙනස් කළ නොහැකිය” (ඉස්සර නිම්මාන හේතු) ”මේ සිදු වන සියල්ලම අහම්බෙන් සිදු වන දේය” (අහේතුක ප‍්‍රත්‍ය) යනාදී වශයෙන් සිතන බොහෝ අය එදා මෙන්ම අදටත් අප අතර ම සිටිති. සැප, දුක්, ලාභ, අලාභ ආදී අටලෝ දහමම මේ ඉහත කරුණු අනුවම සිදු වේ නම්, තමන්ගේ පාලනයෙන් බැහැරවම සිදු වෙනවා නම් ”කුමන විද්‍යාවක්, කුමන ධර්මයක් දැන ඉගෙන ගත්තත් ඵලක් නැත” යන්නත් ඔවුන්ගේ මතයයි.
පෙර කළ කර්මයෙන්ම සියල්ල සිදු වේ යන්න, බුද්ධ දේශණාවට විරුද්ධය. බුද්ධ දේශනාවට නොගැළපේ. එය එක හේතුවක්ම පමණි. පෙර කළ පින්කම් සහිත වූ නිසාම ඔබ අද මිනිස් බව ලබා ඉපදී ඇත. නමුත් අද අදම කරගත යුතු හා අද අදම නොකර බැහැර කළයුතු යැයි කර්ම කොටස් දෙකක්ම ඇත. ”කර්ම” යනු ක‍්‍රියාකාරකම්ය. ”පුණ්‍ය ක‍්‍රියා හා පාප ක‍්‍රියා යනුවෙන්ද” කුසල කි‍්‍රයා හා අකුසල කි‍්‍රයා” යනුවෙන්ද දෙකොටසකට පැහැදිළිවම බෙදා දක්වා ඇත. ”කුසල ක‍්‍රියා” යන පදයෙන් අදහස් කළේ චිත්තසංථානයෙහි අතීතයෙහි පටන්ම මුල්බැසගෙන පවතින අදටත් ක‍්‍රියාත්මකව පවතින කෙළෙස් ගති සිතින්ම උගුල්ලා දමා සහමුළින්ම තම චිත්තසංථානය පිරිසිදු කර ගැනීමයි. පුණ්‍ය ක‍්‍රියා, පාප ක‍්‍රියා, අකුසල ක‍්‍රියා යන ක‍්‍රියාකාරකම් (කර්ම) තුනෙන්ම සිදුවන්නේ චිත්තසංථානයට තව තවත් අලුත් කෙළෙස් ගති එකතු කර උපාදානය කර ගැනීම පමණකි. ඒවා නිසා සංසාර ගමන හොඳින් හෝ නරකින් හෝ දික් වෙනවා මිස සංසාර ගමන නිමා වන්නේ නැත.
මේ ඉහත සඳහන් කරන ලද පුබ්බේ කථ හේතු, ඉස්සර නිම්මාන හේතු හා අහේතුක ප‍්‍රත්‍ය යන දේ දැඩිව විශ්වාස කරමින් පිළිගන්නා යම් කෙනෙකුන්, මිනිසෙකු ලෙස උපත ලබා සිටියත්, ඔහු තමාගේ ශක්තිය, තමන්ට කළහැකි දේ, තමන්ට කෙළෙස් අතහැර ඉන් නිදහස් විය හැකි බව මනුස්ස බලය නොදන්නා කෙනෙකි. ඒ නිසාම අඥාණ, දුප්පඤ්ඤස්ස, අමනසිකරණීය, මොට්ටස්ස, මෝඝ යනාදී විශේෂණ පදවලින් ධර්මයේ එවන් මිනිසුන්වම හඳුන්වා දී ඇත. මනුස්සත්ත පටිලාභයක් එවන් අයට නැත.
තමන්ගේම අහේතුව නිසා, නොලැබීම නිසා, දෙවියන්ගේ කැමැත්ත නිසා, පෙර කර්මය නිසා, අප‍්‍රත්‍ය නිසා සියල්ලම සිදුවේය, යනුවෙන් යම් මිනිසෙක් කල්පනා කරයි නම්, තීරණය කරයි නම් ඔහු සතියෙහි පිහිටා, සතියෙන් ක‍්‍රියා කරන කෙනෙකු වන්නේද නැත. ඔහු තම මනස භාවිතා නොකරන කෙනෙකි. හිතට වහල් වී, හිතට යට වී, විඤ්ඤාණයට ගැති වී ක‍්‍රියා කරන, දුක් විඳින කෙනෙකි. මෙවැනි මිනිසුන් කරණීය ධර්ම හා අකරණීය ධර්ම, කළයුතු දේ හා නොකළ යුතු දේ, හේතුඵල ධර්මය හෝ ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට හෝ නොදත් මිනිසුන්මය.
”මා මෙසේ දේශණාකර පෙන්වා දෙන උතුම් පටිච්ච සමුප්පාද ධර්මය කාටවත්ම නිග‍්‍රහ කළ නොහැකි ධර්මයකි. කාටවත්ම වෙනස් කළ නොහැකි ධර්මයකි. කාටවත්ම කිළිටි කළ හැකි, දූෂණය කළ හැකි ධර්මයක්ද නොවේ.” යැයි බුදුපියාණන්ම දේශණා කර පෙන්වා වදාරා ඇත. ඒ නිසාම උතුම් බුද්ධ ධර්මය ”අනිග්ගහිතෝ, අසංකිළිට්ඨෝ, අනුපවජ්ජෝ, අප්පතිකුට්ඨෝ, අප්පමානෝ” ධර්මයකි. ධර්මයට නිග‍්‍රහ කරන්නට, කිළිටි කරන්නට, වෙනස් කරන්නට, අපවාද කරන්නට, ධර්මය බැහැර කර, ප‍්‍රමාණ කර, සීමා කරන්නට උත්සාහ දරණ පුද්ගලයාම කිළිටි වෙනු මිස දුගතියට පත්වෙනු මිස ධර්මය නම් වෙනස් නොවේ. කිළිටි නොවේ. විකෘති නොවේ.
යමෙක් අනවබෝධයෙන්, අනුමාණ වශයෙන්, උගත්කමෙන් දැනගත් අනුසාරයෙන් පමණක්ම උතුම් ධර්මය වැරදි ආකාරයට ලෝකයාට දේශණා කර ලෝකයා නොමඟ යවන්නට හේතුවන ආකාරයෙන් ක‍්‍රියා කරන්නේ නම් එම දේශකයාටම අයහපත් ඵලවිපාක විඳීමට ද සිදුවෙනු නියතය. උතුම් බුද්ධ ධර්මය දේශණා කර ලෝකයාට ප‍්‍රකාශ කළ යුත්තේ තමන් අත්දැක, අත්විඳ ගැනීමෙන් පසුවම පමණි. එසේ නොවන හැම විටකම එය අනුමානයෙන් කරනු ලබන අඩමාන ප‍්‍රකාශයක් පමණක් වෙයි. ධර්මයට බහා ගළපා බලා විනයටද සැසඳේ් නම් එයම බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය යනු පටිච්චසමුප්පාද ධර්මයයි. ධර්මයට බහා ගළපා බලන්නට නම් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයත්, අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත්, කුසල මූල පටිච්චසමුප්පාද විග‍්‍රහයත් යන තිපරිවට්ටයම යථා පරිදි අවබෝධ කරගත යුතුය.
විනය යනු ”ණය” යන්නෙන් වෙන් වී, මිදී ණයෙන් නිදහස් වීමයි. යමක් උපාදානය කරගන්නා හැම විටකදීම එසේ යමක් උපාදානය කරගන්නා පුද්ගලයා ලෝකයාටම ණය වෙයි. මෙය මාරයාට ණය වීමකි. බුදුපියාණන් විනය පිටකයේ හැම විටකදීම ”ණය” විග‍්‍රහයක් දේශණා කර ඉන් පසුව ”විනය” විග‍්‍රහ කර දී ඇත. සම්මතයේ හෝ ව්‍යවහාරයේ හෝ පනවාගත් විනය නීති පද්ධතියකට වඩා බුද්ධ භාෂිතයේ එන ”විනය” ගාම්භීර අර්ථයකින් දේශණා කර වදාළ දෙයකි. ණය හා විනය (වි+නය) පද දෙකම තේරුම් ගත යුතුයි.
බාහිර වශයෙන් මෙන්ම, අභ්‍යන්තර වශයෙන්ද තමන් උපාදානය කරගෙන, අල්ලාගෙන ”මම, මගේ’’ යැයි කියා පවත්වාගෙන යන්නට උත්සාහ දරණ මේ පංච උපාදානස්කන්ධයෙන්ම සහමුළිින්ම මිදී නිදහස් විය හැකි එකම ක‍්‍රමවේදය ධර්මයට බහා ගළපා බලා විනයට සැසඳේ නම් එයම අනුගමනය කිරීමත්, එය නොගැළපේ නම්, නොසැසඳේ නම්, එය අත්හැර නොකිරීමත් යන කරණීය, අකරණීය ධර්ම දෙකම යථා පරිදි දැන තමන්ම අනුගමනය කිරීම කළ යුතුය. මෙයම උතුම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ආනාපාන සතියම බවද හැම බෞද්ධයෙකුම නිවැරදිවම අවබෝධ කරගත යුතුයි.
සංසාර ගැටළුව කාටත් පොදු වූත්, මූලිකම වූත් ගැටළුවයි. පෘථග්ජන ලෝකයාට නොපෙනෙන්නේත් තේරුම් ගැනීමට නොහැකි වන්නේත් මෙය ගැටළුවක් බවයි. සාරයි, වටිනවා කියා ලෝකයෙන් යමක් එකතු කරගෙන මගේ, මම කියා උපාදානය කරගන්නේ එහි සාරවත් බව දකින නිසාමය. ”සං” යනු රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් යුත් සිතින් සාරවත් යැයි කියා දකින දේ උපාදානය කර ගැනීමයි. එකතු කර ගැනීමයි. මෙතනදී සංසාර ගැටළුව තමන්ම සාදා සකස් කර ගන්නා එකක් බව තමන්ට නොපෙනෙයි. මෙසේ වටිනවා, සාරවත් යැයි කියා අල්ලා උපාදානය කරගත් කිසිම දෙයක් තමන්ට අයිති නැති බව තමා සන්තකයේ දිගටම පවත්වා ගත නොහැකි බව නොදැනීම නිසාම පෘථග්ජන ලෝකයා මාරයාට ණය වෙයි. මේ සියල්ලෙහිම නියම අයිතිකරු මාරයායි. පංචඋපාදානස්කන්ධයම මාරයාට හිමි දේවල්ය. ඒවා පරිහණය කරන්නට භාවිතා කරන්නට හැම ප‍්‍රාණියෙකුටම, හැම සත්ත්වයෙකුටම සමාන අයිතියක් ඇතත් උපාදානය කරගන්නට නම් කිසිම අයිතියක් නැත. පංචස්කන්ධයම උපාදානය කරගත් පුද්ගලයා හෝ සත්ත්වයා හෝ දෙවියා හෝ මාරයාටද ණය වෙයි. තමන් මෙතෙක් උපාදානය කරගත් සියලු දේ (සබ්බූපදි) අත්හැර දමා ණයෙන් නිදහස් වූ අරහතුන්වහන්සේ මාරයාගෙන්ද මරණයෙන්ද නිදහස් වූවකු බවට පත්වෙයි. ඒ මාරයාගෙන් මාරයාට මෙතෙක් පැවති ණයෙන් නිදහස් වූයේ විනයෙහි පිහිටා ක‍්‍රියාකර ණයෙන් නිදහස් වීමෙනි. විනය යනු වෙන්වීමයි. ණයෙන් වෙන්වීමයි.
”සං” තේරුම් නොගත් ”සං” දිට්ඨිකෝ බවට පත් නොවූ සංසාරයි කියා තීරණය කරගත්, ”සංවර” නොවූ සංසුන් නොවූ සංයමයට පත් නොවූ, සංසිඳවීම නොකළ හැකි පුද්ගලයා ”සම්මා දිට්ඨියට පත් නොවූවෙකි.” ඔහු නියත වශයෙන්ම ”සංසාර ගැටළුවට” මැදිහත්ව ඉන් මිදෙන්නට මඟක් නොදුටු, දුක් විඳින සත්ත්වයෙකි. ඔහු ”රහමෙර” නිසා මත් වූවෙකි. රාගයෙන් මත්වීම, ද්වේෂයෙන්, මෝහයෙන් මත්වීම සංසාර ගැටළුවේ එකම හේතුවයි. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිවනයි. ”ඛය” යනු මුල් සිඳ, මුල් කපා දමා කෙළෙස් ගති වලින් නිදහස් වීමයි.

පටිච්ච සමුප්පාද ධර්මය හා චතුඅරිය සත්‍යය

දස දහසක් සක්වල බිහිවන, උපදින, ඇතිවන, නැතිවන, සියලු ආකාරවූ ශක්තීන් ගොනුකර විග‍්‍රහ කර පෙන්වීමට බුදුපියාණන්වහන්සේ ඉදිරිපත් කළ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයයි. හේතුඵල ධර්මයයි. හැම මිනිසෙකුටම, හැම පුද්ගලයෙකුටම මේ උතුම් ධර්මය එකසේ තේරුම් ගත නොහැකි වූවත් යම් හේතුවක් නිසා යම් ඵලයක් ලැබෙන බව මිනිසෙකුටම තරමක් දුරට හෝ තේරුම් ගත හැකිය. හේතුඵල දහමට අනුකූලවම ධර්ම නියාමයන්ට අනුරූපවම හේතුඵල ක‍්‍රියාත්මක වීමේ විද්‍යාත්මක සත්‍ය ස්වරූපය පූර්ණ වශයෙන් දැක ගැනීමේ හැකියාවක් එකවරටම කාටවත් ලබාගත නොහැකිය. හේතුඵල ක‍්‍රියාත්මක වීමේ යථා ස්වරූපය යටපත් කොට විවිධ වූත්, විෂම වූත්, විකෘති වූත් ස්වරූපයක් මවා පෙන්වන මායා දර්ශන වලින් මෝහයෙන් මුසපත් වූ විඤ්ඤාණයේම ක‍්‍රියාත්මක වීමකි. ප‍්‍රිය බව, මධුර බව, සුව බව, සැප බව වැනි දැඩිව ගත් බලාපොරොත්තු විඤ්ඤාණය තුළ බිහිවනතාක් මේ මායා දර්ශන පසුපස මිනිසා හඹා යයි. එය තණ්හාව හා මෝහය ලෙසින් පෙන්වා දුන් ගති ලක්ෂණයයි. විඤ්ඤාණය ක‍්‍රියාත්මකව පවතින තුරුම මොහොතක් මොහොතක් පාසා එකතු කර ගන්නා ගති ලක්ෂණයි.
මෙවන් සැප සුව බවට, ප‍්‍රිය මධුර බවට මුලා වී ඒවාම වටිනවා යැයි නිගමනය කර ඒවා සොයමින්, ඒවා පසුපසම හඹායන ගති ලක්ෂණය පවතින තුරු හේතුඵල දහමේ විද්‍යාත්මක සත්‍යය ස්වරූපය පෘථග්ජන පුද්ගලයෙකුට දැකගත නොහැකිය. මේ රිය ගමනකි. මේ නොනවතින රිය ගමන, භ‍්‍රමණ ස්වරූපය, හැම පෘථග්ජන සත්ත්වයෙකුටම, පුද්ගලයෙකුටම පොදු එකකි. හැම කාලයටම පොදු ලක්ෂණයකි. හැම දෙයකම සත්‍යය ස්වරූපය වසංකර මෝහයට, මුලාවට පත්කර, විවිධ වූ, විෂම වූ දෘෂ්ඨි මවා පෙන්නුම් කිරීම මේ නොනවතින රිය ගමන යාමට එකම හේතුවයි. සංසාර ගමන යනු සාර බව සොයා හඹා යන රිය ගමනක් සේ හැඳින්වූයේද ඒ නිසාමය. නිරන්තරවම නොනවත්වාම සෑම කෙනෙකුම මේ රිය ගමනෙහි යෙදෙති. මෙය කාලයේ ගමන හා සමානය. කාලයේ ගමනද කාගේවත් උත්සාහයක් නිසා වන දෙයක් නොවේ. ඒ අයුරින්ම මේ පැවැත්ම ද, පැවැත්ම ලෙසින් දකින ගමනද බාහිර කාටවත්ම නැවැත්විය හැකි එකක් නොවේ.
මේ නොනවත්වාම කෙරෙන රිය ගමනට ශක්තිය දෙන්නේ ශක්ති ප‍්‍රභවය වන්නේ ඒ ඒ සත්ත්වයාම බිහිකොට එකතු කර ගන්නා චිත්ත ශක්තියමයි. චිත්ත ශක්තියෙන් උපදවා ගන්නා ගති ලක්ෂණමයි. වෙනත් ආකාරයකින් පැහැදිළි කළහොත් ඒ ඒ සත්ත්වයාම බිහිකර, එකතුකර ගන්නා, රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ ගති ලක්ෂණයන්ම ඉන්ධන ලෙසින් මේ ගමන යාමට භාවිතා කරන බවයි. මේ ප‍්‍රකාශයෙහි සත්‍යය වටහා ගන්නට නම් හේතුඵල දහම ක‍්‍රියාත්මක වන ආකාරයම දැකබලා ගත යුතුය.
1. මේ අනුව අවිද්‍යා මූලයන් උපදින පටිච්චසමුප්පාද ධර්ම පරියාය යථා පරිදි තේරුම් ගැනීම.
2. අවිද්‍යා මූලයෙන් උපදින පටිච්චසමුප්පාද ධර්මය නිරෝධ කළයුතු බව යථාපරිදි තේරුම් ගෙන, නිරෝධ කිරීම.
3. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය යථාපරිදි තේරුම් ගෙන, එය ප‍්‍රායෝගිකවම භාවිතාකර, කුණුමුල් සළාහැර, ශුද්ධ පවිත‍්‍ර වීමත් යන පියවර තුනම සම්පූර්ණ කර ගැනීම චතුරාර්ය සත්‍යයන් අවබෝධ වීමයි. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මය යථාපරිදි තේරුම් ගැනීම යනු දුකට හේතුවන, දුකට ප‍්‍රත්‍යය වන, දුකට නිදාන වන, දුක්ඛ සමුදය වන ”පටිඉච්ච වීම” තේරුම් ගැනීමයි. මෙය පළමුවන අරිය සත්‍යය යථාභූත ඥාණයෙන් සත්‍යාවබෝධ කර ගැනීමයි. දුක්ඛ අරිය සත්‍යාවබෝධයයි.
පටිඉච්ච වීම නිසා සං උත්පාදනය වන බව, සමුදය බිහිවන බව යථාභූත ඥාණයෙන් තේරුම් ගැනීම දෙවන අරිය සත්‍යාවබෝධයයි. පටිඉච්ච වීම යනු කැමැත්තට බැඳීමයි. කැමැත්තට බැඳීම යනු තැනක හා වීමයි. තණ්හාවයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන සියලු ආකාර වූ තණ්හා උපදින්නේ පටිඉච්ච වීම නිසයි. මේ සමුදය අරිය සත්‍යයයි.
පටිච්චසමුප්පාද නිරෝධ කළයුතු බවත්, නිරෝධ කළහැකි බවත්, එය තමාගේම සිත තුළදීම ආදී නව අවස්ථා වළදීම නිරෝධ කළහැකි බවත් යථාභූත ඥාණයෙන්ම තේරුම් ගැනීම තුන්වන අරිය සත්‍ය අවබෝධ කර ගැනීමයි. එය නිරෝධ අරිය සත්‍යයයි.
තමාගේ සිත තුළම චිත්තසංථානයේම මුල්බැස ගෙන පවතින රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල (ගති) මුලින් උදුරා දමා චිත්තසංථානය ශුද්ධ පවිත‍්‍රකර ගන්නට, කුණු සළාහැර, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය භාවිතා කිරීම සතරවන අරිය සත්‍යයයි. නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාවයි.
මේ අනුව මොහොතින් මොහොතම තම සිත තුළම ක‍්‍රියාත්මක වන අවිද්‍යා මූලිික පටිච්චසමුප්පාද ක‍්‍රියාදාමය නිවැරදිව තමන්ම තේරුම් ගැනීම පළමුවන පියවරයි.
අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් සංඛාර උපදී. සංඛාර ප‍්‍රත්‍යයෙන් විඤ්ඤාණය උපදී. විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් නාමරූප උපදී. නාමරූප ප‍්‍රත්‍යයෙන් සළායතන උපදී. සළායතන ප‍්‍රත්‍යයෙන් ස්පර්ශය උපදී. ස්පර්ශ ප‍්‍රත්‍යයෙන් වේදනාව උපදී. වේදනා ප‍්‍රත්‍යයෙන් තණ්හාව උපදී. තණ්හා ප‍්‍රත්‍යයෙන් උපාදානය සිදුවෙයි. උපාදාන ප‍්‍රත්‍යයෙන් ”භව” (කර්ම බීජ) උපදී. කර්ම බීජ (භව) ප‍්‍රත්‍යයෙන් ජාති (උපතක්) සිදුවෙයි.
ජාති ප‍්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපායාස සියල්ලම උරුමවෙයි. මෙහිදී විග‍්‍රහ කරන ලද පටිඉච්ච සං උත්පාද (සමුදය) යන පළමුවන හා දෙවන අරිය සත්‍යයන් දෙක විග‍්‍රහ කිරීමේදී මූලික වශයෙන් සතර ආකාරයකින්ම සමුදය වන බව සං උපත ලබන බව පෙන්වා දී ඇත.
1. පච්චයා – යමකින් යමක් ප‍්‍රත්‍ය වීම නිසා සමුදය වීම.
2. හේතුං – යම් හේතුවක් නිසා සමුදය වීම.
3. අඤ්ඤාමඤ්ඤවීම – හේතු ප‍්‍රත්‍යය දෙකම අන්‍යෝන්‍යය වශයෙන් ක‍්‍රියාත්මක වී සමුදය වීම.
4. සම්ප්‍රයුක්තව – හේතු, ප‍්‍රත්‍ය යන දෙකම එක සමඟ යෙදෙමින් සමුදය වීම, යන හතර ආකාරයටයි.
මේ සතර ආකාරයෙන්ම සමුදය ධර්මයක් බිහිවන බව පෙන්වාදුන් බුදුපියාණන්වහන්සේ, මෙම සතර ආකාර නැවතත් තවදුරටත් බෙදා පට්ඨානප‍්‍රකරණයේ 16 ආකාරයකින්ම විග‍්‍රහ කර දී ඇත.
අවිද්‍යා මූලයෙන් හටගන්නා සංඛාරයක් නිසා, ”සං” උපත ලබන ආකාරය (සමුදය) ප‍්‍රත්‍ය, හේතු, අඤ්ඤාමඤ්ඤ, සම්ප‍්‍රයුක්ත යන හතර ආකාරයෙන් විග‍්‍රහකර පෙන්වා දුන් බුදුපියාණන්වහන්සේ කුසලමූල සංඛාරයක් මගින් පටිඉච්ච සං කපා දැමීම විග‍්‍රහ කිරීමේදී භාවිතා කළේ පච්චයා (ප‍්‍රත්‍ය වීම) පමණකි. ඊට හේතුව කුසලමූල යනු කුණු, කිළිටි කෙළෙස් උපදවන මුල් ගළවා ශුද්ධ පවිත‍්‍ර කළ පසු ඒ ප‍්‍රත්‍යයෙන් ඊළඟ පියවරද ශුද්ධ පවිත‍්‍ර වන නිසයි. එහිදී හේතුවක් ලෙසින් හෝ අඤ්ඤමඤ්ඤ වීමෙන් හෝ සම්ප‍්‍රයුක්ත වීමෙන් හෝ ක‍්‍රියාත්මක වන්නට දෙයක් කුණු මුලක් ඉතිරි නොවන නිසා ඒ මුල ගළවා නිදහස් වූ නිසා ප‍්‍රත්‍ය වීම ”පච්චයා” පමණක් පෙන්වා දුන්හ.
පටිච්චසමුප්පාද නිරෝධ කිරීමේ අවස්ථාවේදීද හේතුව නිරෝධ වීමෙන් යම් ඵලයක් උපදවන්නට උපකාරක හේතුව නිරෝධ වන නිසා එතැනදීද ප‍්‍රත්‍ය පමණක්ම භාවිතා කර ඇත. සංඛාර නිරෝධ කිරීමෙන් විඤ්ඤාණ ඉබේම නිරෝධ වෙයි. විඤ්ඤාණ සමුදය වීමක් සිදු නොවේ. යම් සංඛාරයක් සිතෙහි මතුවූ කළ එයට බැඳී (පටිඉච්ච වී) ඒ සංඛාරය දිගේම සිතුවිලි දිගින් දිගටම පවත්වයි නම් පමණක් ආදීනව අවස්ථාවම පසුකර සමුදයද බිහිවෙයි. නමුත් ආදීනව අවස්ථාවලින් එකකදී හෝ සිත නිරෝධ කළේ නම් සමුදයද නිරෝධ වේ. නිරෝධ කිරීම යනු සංඛාරය දිගේ සිතුවිලි පැවැත්වීම නතර කිරීමයි. ඒ විනා යමක් නැති කිරීම නොවේ.
පට්ඨානප්පකරණය නැමැති අභිධර්ම පොතේ විසිහතර ආකාරයකට බෙදා විග‍්‍රහ කර පෙන්වූයේ සංඛාරයක් විසිහතර (24) ආකාරයකින් පච්චයා වන (ප‍්‍රත්‍ය) ධර්මතාවයයි. මෙම සූවිසි ආකාරය අතුරෙන් මුල් දාසය (16) ආකාරයම අවිද්‍යා මූලයෙන් හටගත් සංඛාරයක් සිතක උපදින්නට මුල්වන හේතු ප‍්‍රත්‍යයන්ය. ඉතිරි අට (8) ආකාරයම කුසලමූල සංඛාරයක් සිතක ක‍්‍රියාත්මක වන්නට මුල්වන ප‍්‍රත්‍යයවන කාරණාවෝය. අවිද්‍යාමූල සංඛාරයක් උපදින්නට මුල්වන කරුණු
1.    හේතුං පච්චය                     2.    ආරම්මණ පච්චය 
3.    අධිපති පච්චය                    4.    අනන්තර පච්චය 
5.    සමනන්තර පච්චය              6.    සහජාති පච්චය 
7.    අඤ්ඤාමඤ්ඤ පච්චය         8.    නිස්සය පච්චය 
9.    උපනිස්සය පච්චය              10.  පුරේජාත පච්චය 
11.   පච්චේජාත පච්චය             12.  අසේවන පච්චය 
13.   කම්ම පච්චය                    14.  විපාක පච්චය 
15.   ආහාර පච්චය                   16.  ඉන්ද්‍රිය පච්චය
මේ ආකාරයට පෙන්වාදුන් කරුණු දාසයක්ම අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියක් සිත තුල ක‍්‍රියාත්මක වීමට උපකාර වේ. ජාතියක් බිහිවී ජරා, මරණ උරුම වන්නට හේතුවන හේතුඵල පරම්පරාවකට බැඳෙන්නේත්, පංචස්කන්ධයම උපාදානය කරගෙන සංසාර ගමනකට සම්බන්ධ වන්නේත් මෙවන් හේතු එකක් හෝ කිහිපයක් ප‍්‍රත්‍ය වීමෙනි. හේතුව වීමෙනි, නිදානය වීමෙනි සමුදය වීමෙනි. ”පච්චයා” හෙවත් ප‍්‍රත්‍ය වීම යන පදයද නිවැරදිව ම තේරුම් ගත යුතුයි.
යම්කිසි ධර්මයක, යම් ධර්මතාවයක යම් ගති ලක්ෂණයක උපතට, සමුදයට, ප‍්‍රතිශ්ඨාවට, පැවැත්මට මෙන්ම නිරෝධයට හා නිස්සරණයටද උපකාරවන ලක්ෂණය ප‍්‍රත්‍ය වීමයි. මෙයින් පැහැදිළි වන ධර්ම නියාය නම් යම් සංඛතයක යම් සංකල්පනාවක, යම් ගති ලක්ෂණයක, කර්ම බීජයක උපතට, සමුදයට මෙන්ම ගෙවී විනාශ වී යාමටද මුල්වන බලවේග විවිධාකාර බවයි. මේ කරුණු රාශිය අතරින් එකක් හෝ කිහිපයක හෝ බලපෑම මත සමුදය, නිස්සරණය යන දෙකම සිදුවිය හැකි බවයි. උපතට, පැවැත්මට විනාශයට ප‍්‍රත්‍ය වන කරුණු රාශියක් අතරින් එක කරුණක් එක ආකාරයකින් උපකාර වන විට තවත් කරුණු වෙනත් ආකාරයෙන්ද ඊටම උපකාර වෙයි. ”පටිඉච්ච” එසේත් නැතිනම් කැමැත්තකට බැඳීම සිදුවන ආකාරය පෙන්වාදීම සඳහා මේ සියලු කරුණු ධර්මයේ විග‍්‍රහකර පෙන්වා දී ඇත. මේ අභිධර්ම විග‍්‍රහයයි.
අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙන් පෙන්වා වදාළේ සිතක පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා අනෙජ්ඣාභි සංඛාර බිහිවී ක‍්‍රියාත්මක වී සිත තුළදීම සමුදය වන ආකාරය පෙන්වා දීමයි. මේ අවිද්‍යාමූල සංඛාරයෝම වචී සංඛාර, කායා සංඛාර, චිත්ත සංඛාර ලෙසින්ද බෙදා විග‍්‍රහකර ඇත.
කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙන් පෙන්වා වදාළේ කුණුමුල් කෙළෙස් මුල් ගළවා දමා ඉවත් කර ආසවක්ඛය කර දමන්නට උපකාර වන වි+සංඛාරයෝ පැවැත්වීමයි. මෙතෙක් කල් සංසාරයේදී සාරයි කියා නිගමනය කර එකතුකර, ගබඩාකරගත්, චිත්තසංථානයේ ඇති ගතිගුණ, කිළිටි ගති ලක්ෂණ සළාහැර, පිරිසිදු කරගැනීම සඳහා කුසලමූල සංඛාරයෝම පැවැත්විය යුතුය. ඒවා කුසලමූල සංඛාර ලෙසින්ම ධර්මයේ පෙන්වා දෙයි. කෙළෙස්, කුණු, කහට ගති එකතු කරන සියලු සංඛාරයෝ අවිද්‍යා මූල සංඛාරයෝයි.
මේ අනුව නිවන් දකින්නට උත්සාහ දරණ හැම කෙනෙක්ම අවිද්‍යාමූල සංඛාර දැන හඳුනා ගෙන ඒවා බැහැර කර ඒවා නිරෝධ කිරීමත් කුසලමූල සංඛාරයෝ දැන හඳුනාගෙන ඒවා ආශ‍්‍රය කිරීමත් පුරුදු, පුහුණු කරගත යුතුමය. මෙයම අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත් කුසලමූල පටිච්චසමුප්පාද භාවිතයත් ලෙසින්ද පෙන්වා දී ඇත.

කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය

1. අලෝභ, අද්වේශ, අමෝහ සංකාර

අද බොහෝ දේශකයින් මේ සංඛාර තුනම නිවන් දකින්නට උපකාර වන කුසල මූල සංඛාර තුන ලෙස හුවා දක්වන්නට පටන් ගෙන ඇත. මෙයට හේතුව කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීමයි. අලෝභ, අද්වේෂ, අමෝහ යනුද ලෞකික ක‍්‍රියාවක් පෙන්නුම් කරන, ”සං” එකතු කරන චිත්ත ශක්තියක් එකතු කරන ”භව” නැමති ගති ලක්ෂණයට පත් කරන සංඛාරයෝමය.
ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසල්ය. පව් හෝ අධර්මිෂ්ට ක‍්‍රියාවෝය. ඒවායින් බලවත් ලෙස කුණු එකතු කරගනී. අලෝභ, අද්වේෂ, අමෝහ යනු ලෞකික පින්කම් හෝ පින් පව් දෙකටම අදාළ නොවන ක‍්‍රියාවෝය. නමුත් එවැනි දේ කිසිසේත් කුසල් කොටසට අයත් නොවේ. කුසල මූල සංඛාර වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන සංඛාර පමණි. මෙහි වචනයේ අර්ථයෙන්ම එය තේරුම් ගත හැකිය. කුණු, කිළිටි දේ සළා හැර ශුද්ධ පවිත‍්‍ර වීමට නම් ඒවා අත්හැර, ඛය කර ගත යුතුයි. එය කපා දමා අත්හැර, සෝදා, පවිත‍්‍ර කරගත හැකි නිසා ඛය කරගත යුතුයැයි පෙන්වා දුනි.
අලෝභ, අද්වේෂ, අමෝහ යන සංඛාර කොටසට පින්කම් වලට අමතරව අනුකම්පාව, ආදරය, සෙනෙහස, පේ‍්‍රමය, උපකාරය, පිහිට වැනි දේ ද අයත් වේ. එවැනි දේ ලෝභකමක් හෝ ද්වේෂයක් නිසා කරන දේ නොවේ. නමුත් ඒ සියල්ලෙහිම ප‍්‍රතිඵලය ”සං” උපදවා ගැනීම නිසා යම් කිසි සම්බන්ධකමක්, සංසාරයට බැඳීමක් ඇතිවීමයි.
මෙයින් පැහැදිළි කරගත යුත්තේ සංඛාර පැහැදිළිවම දෙකොටසකට බෙදා දැක්විය හැකි බවත් ඒවා අවිද්‍යා මූල හා කුසල මූල බවත් කුසල මූල සංඛාර පමණක් නිවනට උපකාර වන බවත්ය.
2. ත්‍රිහේතුක පටිසංධිය
ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියෙන් උපත ලැබූ උතුම් බුද්ධ ධර්මයද නිවැරදිව තේරුම් ගෙන ඒ මඟද, ප‍්‍රතිපත්තිද අනුගමනය කර, මඟඵල ලබාගත හැකි බොහෝ මිනිසුන් අදත් අප අතරම ජීවත්වෙති. මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය යනු ධර්ම අර්ථයෙන් කිහිප ආකාරයකින් විග‍්‍රහ කළහොත් ලෝභ අලෝභ, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ වෙන්කොට දැන හඳුනා ගෙන ලෝභක්ඛය කිරීමේ, ද්වේෂක්ඛය කිරීමේ, මෝහක්ඛය කිරීමේ හැකියාවයි. ශක්තියයි. ධර්මය අසා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන හැම මිනිසෙකුටම මේ හේතු තුන තේරුම් ගත හැකිය. ”තේ සං හේතුං තථාගතෝ ආහ, තේසං චයෝ නිරෝධෝ, ඒවං වාදී මහා සමනෝ” යනුවෙන් අස්සජී මහඅරහතන් වහන්සේ දේශණා කර පෙන්වූයේ මේ හේතු තුනයි. නිරෝධ කළයුතු හේතු තුනයි.
ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියක් ලැබීම යනු තවත් ආකාරයකින් ද විග‍්‍රහ කර දුන් තැන් ත‍්‍රිපිටකයේම ඇත. හේතුඵල ධර්මයට අනුගතව මෙය විග‍්‍රහ කිරීමේදී,
1. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට මුල් වූ හේතු තේරුම් ගැනීම (සංදා).
2. අවිද්‍යාමූල පටිච්චපමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට හේතු වූ කරුණු නිරෝධ කිරීමට තේරුම් ගැනීම (විසංදා).
3. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, කුණු මුල් කපා හැර, සහමුළින් උදුරා දමා, ලෝකෝත්තර කුසල් පිරීමට තේරුම් ගැනීම යන කරුණු තුනයි (අනිබ්බිසං).
”යෝ පට්ච්චසමුප්පාදං පස්සති – සෝ ධම්මං පස්සති”
”යෝ ධම්මං පස්සති- සෝ මං පස්සති”
යැයි දේශණා කර වදාළේත් මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය ගැනමයි.
අද මිනිසුන් ලෙස උපත ලබා ඇති බොහෝ දෙනෙකු මේ උතුම් ධර්මය අසා, මඟඵල ලබා නිවන් දකින්නට තරම් වාසනාව ඇති ත‍්‍රිහේතුක පුද්ගලයින්ම බව මෙය කියවන ඔබට නිවැරදිවම අවබෝධ වනු ඇත. මෙතෙක් කලක් මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මය වැසී, යටපත් වී භාවිතයෙන් තොරව වචන පදවැල් ටිකක් සේ පැවතියත් අද එය අර්ථ, ධර්ම, නිරුක්ති සහිතව ඔබටත් තේරුම් ගතහැකි පරිදිම විග‍්‍රහකර දීමට තේරුම් කරදීමට හැකි ශක්තියෙන් යුක්ත අය ඔබ අතරම සිටින බව සිතන්න. අරහත් මාර්ග ඵලය දක්වාම මේ මඟ වඩන්නට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදෙන්නටත්, විපස්සනා කර්මස්ථාන ලබා දෙන්නටත් දැනුම, ශක්තිය හා අත්දැකීම් ලැබූ අය අද ඔබ අතරම සිටී.
මේ අනුව නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සාහ දරණ කිසිවෙකුටත් මංදෝත්සාහිවන්නට හෝ එය තවත් කල්දමන්නට හෝ හේතුවක් නැත. මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරගත හැකිය. ඒ සඳහා තම තමාම ධර්මය අසා, තමා තුළම ඇති ලෝභ, ද්වේෂ, මෝහ ගති ගුණ තමා විසින්ම සහමුළින්ම ඉවත් කර නිදහස් විය යුතුමය. ඇත්ත ඇති සැටියෙන් අසා දැන, ඒ අසාදැනගත් සත්‍යයන්ට අනුකූලව මඟ අනුගමනය කිරීම මගින් ඔබටම නිවන් සුවය අත්විඳගනු හැකිය.
මිනිසුන් ලෙස උපතලබා ජීවත්වන අය අතර පුද්ගලයින් කොටස් හතරක් වාසය කරන බව ධර්මයේ පෙන්වා දී ඇත.
1. උග්ඝඨිතඤ්ඤ
2. විපඨිතඤ්ඤ
3. නෙයිය
4. පදපරම
යනු මේ කොටස් හතරයි.
පදපරම පුද්ගලයා යනු භාෂා ව්‍යවහාරයේ එක යම් වචනයකින් පදයකින් කියාපාන දේවල්වල අර්තය, ධර්මය හෝ නිරුක්තිය තේරුම් ගත නොහැකි වෙන කෙනෙකුගෙන් අසා දැන හෝ තේරුම් ගත නොහැකි බාහිර ව්‍යවහාර අර්ථය පමණක්ම අදහන, විශ්වාස කරන පෘථග්ජන පුද්ගලයායි. ඔහුට යම් ධර්ම පදයක ධර්ම අර්ථය තේරුම් ගන්නට ශක්තියක් නැති නිසා නියත වශයෙන්ම තවත් කල්ප කාලාන්තරයක් සංසාර ගමන යෑමටද සිදුවෙයි. අනිත් පුද්ගලයින් තුන්දෙනාටම මේ උපතේදී ධර්මය අසා විපස්සනා නුවණ පහළ කර මඟඵල ලබා නිවන් අවබෝධ කරගැනීමටම වාසනාව ඇත.
කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් ධර්මය අසා බුද්ධ භාෂිතයේ ගෙනහැර වදාළ ධර්ම නිරුක්ති තේරුම් ගැනීිම නිවන් මඟ අනුගමනය කරන්නට අවශ්‍ය දැනුමයි. පාලි භාෂාව නමින් අද නම්කර, ව්‍යවහාර කරන, ව්‍යවහාර භාෂාව බුද්ධ භාෂිතයේ එන පදවලට නොයෙකුත් පුද්ගලයින් සම්මත කර පනවාගත් ව්‍යවහාර අර්ථයන් සහිත වූ පාරිභාෂිත භාෂාවකි. ඊට අමතරව ඒ ධර්ම පදවැල්ම විපස්සනා ඥාණයෙන් තේරුම්ගත හැකි ලෝකෝත්තර ධර්ම අර්ථයද අවබෝධ කරගත හැකි හැම කෙනෙක්ම නිවන් අවබෝධයට සුදුසකම් ලබන ”පදපරම” නොවන පුද්ගලයින්ය.
ගිහිගෙයි සිටින ඔබට අනන්ත අප‍්‍රමාණ බැඳීම්ය. දරුවන්ගේ, නෑදෑයින්ගේ, මිත‍්‍රයින්ගේ, රටවැසියන්ගේ, හිතවතුන්ගේ වැඩ රාජකාරි නිමවා, නිදහසක් ලබාගන්නට අපට මේ ජාතියේදී නම් හැකියාවක් නැත. මේ ආදී වශයෙන් සිතන සියලුම දෙනා පංචඋපාදානස්කන්ධය දැඩිව අල්ලා බදාගත්, ඒවා අතහැරිය නොහැකි තත්ත්වයටම හිතට වහල්වූ, සංසාර ගමන තවත් බොහෝ කාලයක් ගත කරන විඤ්ඤාණ ශක්තියෙන්ම කටයුතු කරන පෘථග්ජන පුද්ගලයින් ය.
ඒ අතරම බොහෝ අය සිතන්නේ ගිහිගෙය අත්හැර, භාවනා මධ්‍යස්ථානයකට ගොස් ලෝකයාගෙන් වෙන් වී හෝ හිමාල වනයට ගොස් සියල්ල අතහැර නිදහස් වීමෙන්ම පමණක් නිවන් දකින්නට මඟපාදාගත හැකි බවයි. එසේ සිතන්නේ ධර්මය නොදන්නා අය මිස ධර්මය දැනගත් අය නොවේ. හිමාල වනයට හෝ ආරඤ්ඤයට හෝ ගියද තම සිත දමනය කරගත නොහැකි නම් ඉන්ද්‍රියයන් සංවර කරගත නොහැකි නම් සිතෙහි රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල සිතුවිලි නිරෝධ කර කුණුමුල් සළා හැර, නිදහස් විය නොහැකි නම් ඒ පුද්ගලයාට නිවනක් නැත. යමෙක් තම නිවසේම සිට ධර්මය අසා, සිත දමනය කර, උපාදානය කර ඇති පංචඋපාදානස්කන්ධයම සිතින් මුදාහැර රාග, ද්වේෂ, මෝහ මුල් කපාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගන්නේ නම් එතැනම නිවනද ඇත. මේ අනුව පන්සලක, කැලයක, ආරඤ්ඤයක, භාවනා මධ්‍යස්ථානයක හෝ හිමාලය වනයේ නිවන නැති බවත් තමාගේම සිත තුළින්ම නිවන් අවබෝධය ලැබිය යුතු බවත් සෑම බෞද්ධයෙකුම තේරුම් ගත යුතුයි.
3. මහා නිධාන සූත්‍රයේ ලාභ පර්යේෂණ පටිච්ච සමුප්පාද විග්‍රහය
දීඝ නිකායේ, මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය විභංගප‍්‍රකරණයේ හා මහා වග්ගපාලියෙහි ඇතුළත් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයට වඩා වෙනස් ආකාරයේ විග‍්‍රහයකි. මෙහිදී අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේම වෙනත් පැතිකඩක් විග‍්‍රහවන බවත් තේරුම් ගත යුතුය.
මජ්ක්‍ධිම නිකායේ සඳහන් අරිය පර්යේෂණ සූත‍්‍රයේ විග‍්‍රහ කර පෙන්වා වදාරා ඇත්තේ අරිය තත්ත්වයට පත්වීමට උපකාර වූ බුද්ධත්වයට පත්වන්නට මඟ හෙළි කරදුන් තමන් වහන්සේම පර්යේෂණ කර සොයා දැනගත් විපස්සනා පර්යේෂණ පිළිබඳවයි. සංසාර ගමනට මුල් වූ, නිදාන වූ හේතුව අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද නිරෝධ කිරීමෙනුත්, කුසලමුල පටිච්චසමුප්පාද භාවිතා කිරීමෙනුත් රිය අරිය තත්ත්වයට පත්කර ගති හැකි බව මේ අරිය පර්යේෂණයෙන් යථා පරිදි අවබෝධකර ගත්හ. මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැර දක්වා වදාළේ් අරිය පර්යේෂණවලට විරුද්ධ පැත්ත වන රිය පර්යේෂණ පිළිබඳවයි. මේ රිය පර්යේෂණ, ලාභ පර්යේෂණ ලෙසින්ද මහා නිදාන සූත‍්‍රයේම සඳහන් කර ඇත. පෘථග්ජන ලෝක සත්ත්වයා ලාභ පර්යේෂණ කරමින් නිරන්තරවම ලාභ පර්යේෂණ සඳහාම යොමු වෙමින් තම තමන්ම එකතු කරගන්නා උපාදානය කරගන්නා සමුදය කරගන්නා පංචඋපාදානස්කන්ධයම සංසාර ගමනටද හේතුවන බව මෙහිදී ඉතාමත් පැහැදිළිව විග‍්‍රහ කර ඇත. අරිය පර්යේෂණ පිළිබඳව නිවැරදිවම කෙනෙකුට තේරුම් ගතහැකි වන්නේ මහානිදාන සූත‍්‍රයේ පෙන්වා වදාළ රිය පර්යේෂණ (ලාභ පර්යේෂණ) පිළිබඳවද තේරුම් ගන්නට හැකියාව ලැබුණොත් පමණි. මේ අදහස ඇතිවම ආනන්ද හිමි බුදුපියාණන් මහා නිදාන සූත‍්‍රයේ සඳහන් මෙම ලාභ පර්යේෂණ, අනරිය පර්යේෂණ, රිය පර්යේෂණ විග‍්‍රහයන් දේශණාකර වදාළ බවත් පෙනේ. ලෝක සත්ත්වයා දිගින් දිගටම සංසාර දුකට වැටී දුක් විඳින්නේම තමන්ම යමක් එකතු කරගන්නට, උපාදානය කරගන්නට කරනු ලබන්නා වූ ලාභ පර්යේෂණයන් නිසාම බවත් කවදා හෝ මේ සත්‍යයන් අවබෝධ කරගන්නා තුරුම ලාභ පර්යේෂණ කරමින් හේතුඵල පරමිපරාවකට බැඳී ඒ හේතුඵල පරම්පරාවම නිධානය කොට, ප‍්‍රත්‍ය කොට, සමුදය කොට සංසාර ගමනේ යෙදෙන බවත් (රිය ගමන) යන බවත් පෙන්වා වදාළහ. රිය ගමනට හේතුව නිවැරදිවම තේරුම් ගත් කෙනෙකුට පමණක් රිය අරිය කළ හැකි බවද මෙයින් පෙන්වා දී ඇත. මහා නිදාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද විග‍්‍රහය මෙසේය.
“ජාති පච්චයා ජරා මරණන්ති ඉති ඛෝ පනෙතං වුත්තං තදානන්‍ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා ජාති පච්චයා ජරා මරණං ජාති චාහි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම්හිචි සොය්‍යතිදං….. තේසං තේසංච ආනන්ද සත්තානං තථත්තාය ජාති නා භවිස්ස සබ්බසෝ ජාතියා අසති ජාතිනිරෝධා අපි නු ඛෝ ජරාමරණං පඤ්ඤායෙථාති නො හේතං භන්තේ. තස්මානිහානන්‍ද එසේව හේතු, ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජරාමරණස්ස යදිදං ජාති
ඉති ඛෝ පනේතං ආනන්‍ද
වේදනං පටිච්ච තණ්හා
තණ්හා පටිච්ච පරියේසනං
පරියේසනා පටිච්ච ලාභෝ
ලාභං පටිච්ච විනිචජයෝ
විනිචජයං පටිච්ච ඡන්‍දරාගේ
ඡන්‍දරාගං පටිච්ච අපේඣාසානං
අපේඣාසානං පටිච්ච පරිග්ගහෝ
පරිග්ගහං පටිච්ච මච්ජරියං
මච්ජරියං පටිච්ච ආරක්ඛෝ
ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩදාන…
අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තී.’’
අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේ ඇතුළත් වේදනා, තණ්හා, උපාදාන, භව යන අවස්ථාවන්ගෙන් තණ්හා සහ භව අතර සිදුවන පටිච්ච සං උත්පාද ධර්මතාවය මෙහිදී ලාභ පර්යේෂණ වශයෙන් නැවතත් අවස්ථා නවයකදීම දියුණුවන ආකාරය (ප‍්‍රත්‍ය වීම) පෙන්වා දී ඇත. තැනකට හාවූ පසුව සිතින්ම කරනු ලබන ලාභ පර්යේෂණ හේතුවෙන්ම ලෞකික වශයෙන්, භෞතික වශයෙන් සියලු සත්ත්වයා මිහිපිට ඇති බොහෝ දේ අයිති කර ගන්නට, උපාදානය කරගන්නට කරනු ලබන ක‍්‍රියාදාමයත්, ඒ නිසාම කරන්නට සිදුවන දඬුමුගුරු ගැනීම, මිනිසුන්, සතුන් මැරීම ආදී සියලු ආකාර වූ පාපී ක‍්‍රියාවලට මුල්වන එකම හේතුවත් මේ ලාභ පර්යේෂණයන් කිරීමම බව මෙහිදී පැහැදිළිවම පෙන්වා ඇත. මේ සියල්ලමත් සිත තුළම ක‍්‍රියාත්මක වන දේය.
පෘථග්ජන මිනිසෙකුට මේ ලෞකිකත්වය තුළින් මොනයම් දෙයක් හෝ අල්ලා උපාදානය කරගන්නට කරනු ලබන සියලු ආකාර වූ උත්සාහයන් ලාභ පර්යේෂණ කොටසටම ඇතුළත්ය. ලෞකික ධ්‍යානයක් ලබා ගන්නට පවා කරනු ලබන සියලු උත්සාහයන්ද මීටම ඇතුළත් බව මෙයින් දැනගත යුතුය. අනරිය වූ ධ්‍යාන අෂ්ට සමාපත්ති, ඍද්ධි ප‍්‍රාතිහාර්යයන්, අභිඥා යන සියලු දේ ලාභ පර්යේෂණ කොටසටම අයත්වේ. මාර්ගඵල හා අරිය ධ්‍යානයන් පමණක් අරිය පර්යේෂණ කොටසකට ගැනෙන බව මෙයින් පැහැදිළිවම දේශණා කර වදාළ සේක. මහානිධාන සූත‍්‍රයේ මෙතරම් විග‍්‍රහ සහිතව විස්තර සහිතව ප‍්‍රකාශකර වදාළේ පෘථග්ජන ලෝක සත්ත්වයාට නිවන් මඟ වැසී, සංසාර දුකට පත් වී, ලෞකිකත්වය තුළම හිර වී, මංමුලා වී රිය ගමන යන්නට මුල්වන හේතුව පැහැදිළි කිරීමයි. මේ සූත‍්‍රයේ දක්වා ඇත්තේ නිවන් මඟට උපකාරවන කරුණු නොව නිවන වසා සිටින කරුණුය. සියලුම පාථග්ජන ලෝක සත්ත්වයා දහදුක් විඳිමින් මුළු ජීවිත කාලයම උත්සාහ දරන්නේ මෙවන් වූ කුණු පොදියක් ආශාවෙන්, තණ්හාවෙන් එකතුකර ඒ කුණු පොදියක හිමිකරුවා වීමටය. සියලුම ලාභ පර්යේෂණ කරන්නේ සංවර්ධනය කරන්නේ මේ පංචඋපාදානස්කන්ධයම නැවත නැවතත් තව තවත් අල්ලා බදාගැනීමේ ඒකායන අරමුණු ඇතිවය. මෙසේ අල්ලා උපාදානය කරගන්නා පංචඋපාදානස්කන්ධයන් හැර වෙන කිසිම දෙයක් නිසා තමන් ලෝකයාට බැඳී නැත. ඒ පංචඋපාදානස්කන්ධයන්ම නිසා බිමට බරක් වී ඇත. සංයෝජන දහයකටම බැඳී ඇත. මරණ මොහොතේ මාරයාට ණය ලෙසින් ආපසු ගෙවන්නට සිදු වන්නේ ද මෙසේ අල්ලාගත් උපාදානය කරගත්, ණයට ගත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන්මය.
සත්ත්වයා අතර මිනිසුන් අතර සියලු සමාජගත ප‍්‍රශ්ණ ඇතිවන්නට හේතුවත් තරඟය, බලය, ධනය, නිලය වැනි ප‍්‍රශ්ණ ඇතිවන්නට හේතුවත්, යුද්ධ කලකෝලාහල ඇතිවන්නට මූලික හේතුවත්, නිධාන හේතුවත්, මනාකොට පැහැදිළි කර විග‍්‍රහකර පෙන්වා දුන්නේ මහානිධාන සූත‍්‍ර දේශණාවෙනි. සක්ක පඤ්ඤ, කලහ, විවාද සූත‍්‍ර වලින්ද මහානිධාන සූත‍්‍රයේ ගෙනහැර පා වදාළ ලාභ පර්යේෂණ, රිය පර්යේෂණ නියාය, තවදුරටත් උදාහරණ සහිතව විස්තර කර ඇත. මේ අනුව බලන කළ ඉතාමත් සුපරික්‍ෂාකාරීව දැකගත හැකි වැදගත්ම කරුණක් නම් මුළු බුද්ධ දේශණාවේම සඳහන් සියලුම සූත‍්‍ර ධර්මවලින් විග‍්‍රහ කර ඇත්තේ පටිච්චසමුප්පන්න නියායයේම අඩංගු මූලධර්මයන් විවිධාකාරයෙන් විග‍්‍රහ කර, විභජනය කර ඉදිරිපත් කිරීමකි. අද මේ උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්නට නොහැකිව ඇත්තේ පටිච්චසමුප්පාද ධර්මයම විකෘති කර අර්ථයන් යටපත් කළ නිසයි. ”ඉච්ච” යන පදයේ අර්ථය නොදැනීමත්, සංදේශණාව යටපත්වීමත් නිසා සං උත්පාද, සමුදය වන ආකාරය තේරුම් ගැනීමට නොහැකි වී ගිය පසුව අද පදවැල් කියව කියවා නිවනක් පතති.
”පටිඉච්ච” යනු කැමැත්තට බැඳීමයි. අනිච්ච යනු එසේ කැමැත්තට බැඳුණු පසු කැමැති වූ දේ, කැමැති වූ ආකාරයට පැවැත්විය නොහැකි යන නියත ධර්මතාවයයි. දුක බිහිවන්නේ පටිඉච්ච වූ දෙයක නියත ලක්ෂණය වූ අනිච්ච බව තේරුම් නොගැනීම නිසයි. අනිච්ච ධර්මතාවය තේරුම් ගෙන එවන් අනිච්ච වූ දෙයකට නොබැඳී පටිඉච්ච නොවූයේ නම් දුකක් උරුම වන්නේ ද නැත.
විචිකිච්චාවෙන් කටයුතු කරන කෙනෙකුට පටිඉච්ච හෝ අනිච්ච යන ධර්මතාවන් කිසිවක්ම නුවණින් දැනගන්නට නොහැකි වෙයි. මේ නිසා ”විචිකිච්ච” යන්න තේරුම් ගෙන විඤ්ඤාණ චිත්තයේ කැමැත්තටම වහල්වී කටයුතු කිරීමෙන් වැළකී අනිච්ච ධර්මතාවය මෙනෙහි කරන්නට පුරුදු වුවහොත් ඒ පුද්ගලයා නිවන් දකින්නට සුදුසු තත්ත්වයටම පත් වූවෙකු වෙයි.
එවන් පුද්ගලයා අභිජ්ජාවෙන් මුළා නොවෙයි. උද්ධච්ච, කුක්කුච්ච යන ගති ලක්ෂණවලින් ද ඉවත් වෙයි. මේ නිසා ”ඉච්ච” යන පදයෙන් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ පදයේ තේරුම නිවැරදිවම තේරුම් ගන්නා තුරාවට, කෙනෙකුට නිවන් අවබෝධ කරගත නොහැකි වෙයි. පෘථග්ජනයා යනු තම සිතේ පහළවන කැමැත්තට වහල්වී, කැමති දේ එකතුකරන්නට උත්සාහ දරමින් කුණු එකතුකර ගන්නා පුද්ගලයායි.