Monday, August 18, 2014

කුසල මූල පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය

1. අලෝභ, අද්වේශ, අමෝහ සංකාර

අද බොහෝ දේශකයින් මේ සංඛාර තුනම නිවන් දකින්නට උපකාර වන කුසල මූල සංඛාර තුන ලෙස හුවා දක්වන්නට පටන් ගෙන ඇත. මෙයට හේතුව කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය නොදැනීමයි. අලෝභ, අද්වේෂ, අමෝහ යනුද ලෞකික ක‍්‍රියාවක් පෙන්නුම් කරන, ”සං” එකතු කරන චිත්ත ශක්තියක් එකතු කරන ”භව” නැමති ගති ලක්ෂණයට පත් කරන සංඛාරයෝමය.
ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසල්ය. පව් හෝ අධර්මිෂ්ට ක‍්‍රියාවෝය. ඒවායින් බලවත් ලෙස කුණු එකතු කරගනී. අලෝභ, අද්වේෂ, අමෝහ යනු ලෞකික පින්කම් හෝ පින් පව් දෙකටම අදාළ නොවන ක‍්‍රියාවෝය. නමුත් එවැනි දේ කිසිසේත් කුසල් කොටසට අයත් නොවේ. කුසල මූල සංඛාර වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන සංඛාර පමණි. මෙහි වචනයේ අර්ථයෙන්ම එය තේරුම් ගත හැකිය. කුණු, කිළිටි දේ සළා හැර ශුද්ධ පවිත‍්‍ර වීමට නම් ඒවා අත්හැර, ඛය කර ගත යුතුයි. එය කපා දමා අත්හැර, සෝදා, පවිත‍්‍ර කරගත හැකි නිසා ඛය කරගත යුතුයැයි පෙන්වා දුනි.
අලෝභ, අද්වේෂ, අමෝහ යන සංඛාර කොටසට පින්කම් වලට අමතරව අනුකම්පාව, ආදරය, සෙනෙහස, පේ‍්‍රමය, උපකාරය, පිහිට වැනි දේ ද අයත් වේ. එවැනි දේ ලෝභකමක් හෝ ද්වේෂයක් නිසා කරන දේ නොවේ. නමුත් ඒ සියල්ලෙහිම ප‍්‍රතිඵලය ”සං” උපදවා ගැනීම නිසා යම් කිසි සම්බන්ධකමක්, සංසාරයට බැඳීමක් ඇතිවීමයි.
මෙයින් පැහැදිළි කරගත යුත්තේ සංඛාර පැහැදිළිවම දෙකොටසකට බෙදා දැක්විය හැකි බවත් ඒවා අවිද්‍යා මූල හා කුසල මූල බවත් කුසල මූල සංඛාර පමණක් නිවනට උපකාර වන බවත්ය.
2. ත්‍රිහේතුක පටිසංධිය
ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියෙන් උපත ලැබූ උතුම් බුද්ධ ධර්මයද නිවැරදිව තේරුම් ගෙන ඒ මඟද, ප‍්‍රතිපත්තිද අනුගමනය කර, මඟඵල ලබාගත හැකි බොහෝ මිනිසුන් අදත් අප අතරම ජීවත්වෙති. මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය යනු ධර්ම අර්ථයෙන් කිහිප ආකාරයකින් විග‍්‍රහ කළහොත් ලෝභ අලෝභ, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ වෙන්කොට දැන හඳුනා ගෙන ලෝභක්ඛය කිරීමේ, ද්වේෂක්ඛය කිරීමේ, මෝහක්ඛය කිරීමේ හැකියාවයි. ශක්තියයි. ධර්මය අසා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන හැම මිනිසෙකුටම මේ හේතු තුන තේරුම් ගත හැකිය. ”තේ සං හේතුං තථාගතෝ ආහ, තේසං චයෝ නිරෝධෝ, ඒවං වාදී මහා සමනෝ” යනුවෙන් අස්සජී මහඅරහතන් වහන්සේ දේශණා කර පෙන්වූයේ මේ හේතු තුනයි. නිරෝධ කළයුතු හේතු තුනයි.
ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධියක් ලැබීම යනු තවත් ආකාරයකින් ද විග‍්‍රහ කර දුන් තැන් ත‍්‍රිපිටකයේම ඇත. හේතුඵල ධර්මයට අනුගතව මෙය විග‍්‍රහ කිරීමේදී,
1. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට මුල් වූ හේතු තේරුම් ගැනීම (සංදා).
2. අවිද්‍යාමූල පටිච්චපමුප්පාද ධර්මයට අනුව, සංසාර ගමනට හේතු වූ කරුණු නිරෝධ කිරීමට තේරුම් ගැනීම (විසංදා).
3. කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයට අනුව, කුණු මුල් කපා හැර, සහමුළින් උදුරා දමා, ලෝකෝත්තර කුසල් පිරීමට තේරුම් ගැනීම යන කරුණු තුනයි (අනිබ්බිසං).
”යෝ පට්ච්චසමුප්පාදං පස්සති – සෝ ධම්මං පස්සති”
”යෝ ධම්මං පස්සති- සෝ මං පස්සති”
යැයි දේශණා කර වදාළේත් මේ ත‍්‍රිහේතුක ප‍්‍රතිසංධිය ගැනමයි.
අද මිනිසුන් ලෙස උපත ලබා ඇති බොහෝ දෙනෙකු මේ උතුම් ධර්මය අසා, මඟඵල ලබා නිවන් දකින්නට තරම් වාසනාව ඇති ත‍්‍රිහේතුක පුද්ගලයින්ම බව මෙය කියවන ඔබට නිවැරදිවම අවබෝධ වනු ඇත. මෙතෙක් කලක් මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මය වැසී, යටපත් වී භාවිතයෙන් තොරව වචන පදවැල් ටිකක් සේ පැවතියත් අද එය අර්ථ, ධර්ම, නිරුක්ති සහිතව ඔබටත් තේරුම් ගතහැකි පරිදිම විග‍්‍රහකර දීමට තේරුම් කරදීමට හැකි ශක්තියෙන් යුක්ත අය ඔබ අතරම සිටින බව සිතන්න. අරහත් මාර්ග ඵලය දක්වාම මේ මඟ වඩන්නට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදෙන්නටත්, විපස්සනා කර්මස්ථාන ලබා දෙන්නටත් දැනුම, ශක්තිය හා අත්දැකීම් ලැබූ අය අද ඔබ අතරම සිටී.
මේ අනුව නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සාහ දරණ කිසිවෙකුටත් මංදෝත්සාහිවන්නට හෝ එය තවත් කල්දමන්නට හෝ හේතුවක් නැත. මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරගත හැකිය. ඒ සඳහා තම තමාම ධර්මය අසා, තමා තුළම ඇති ලෝභ, ද්වේෂ, මෝහ ගති ගුණ තමා විසින්ම සහමුළින්ම ඉවත් කර නිදහස් විය යුතුමය. ඇත්ත ඇති සැටියෙන් අසා දැන, ඒ අසාදැනගත් සත්‍යයන්ට අනුකූලව මඟ අනුගමනය කිරීම මගින් ඔබටම නිවන් සුවය අත්විඳගනු හැකිය.
මිනිසුන් ලෙස උපතලබා ජීවත්වන අය අතර පුද්ගලයින් කොටස් හතරක් වාසය කරන බව ධර්මයේ පෙන්වා දී ඇත.
1. උග්ඝඨිතඤ්ඤ
2. විපඨිතඤ්ඤ
3. නෙයිය
4. පදපරම
යනු මේ කොටස් හතරයි.
පදපරම පුද්ගලයා යනු භාෂා ව්‍යවහාරයේ එක යම් වචනයකින් පදයකින් කියාපාන දේවල්වල අර්තය, ධර්මය හෝ නිරුක්තිය තේරුම් ගත නොහැකි වෙන කෙනෙකුගෙන් අසා දැන හෝ තේරුම් ගත නොහැකි බාහිර ව්‍යවහාර අර්ථය පමණක්ම අදහන, විශ්වාස කරන පෘථග්ජන පුද්ගලයායි. ඔහුට යම් ධර්ම පදයක ධර්ම අර්ථය තේරුම් ගන්නට ශක්තියක් නැති නිසා නියත වශයෙන්ම තවත් කල්ප කාලාන්තරයක් සංසාර ගමන යෑමටද සිදුවෙයි. අනිත් පුද්ගලයින් තුන්දෙනාටම මේ උපතේදී ධර්මය අසා විපස්සනා නුවණ පහළ කර මඟඵල ලබා නිවන් අවබෝධ කරගැනීමටම වාසනාව ඇත.
කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් ධර්මය අසා බුද්ධ භාෂිතයේ ගෙනහැර වදාළ ධර්ම නිරුක්ති තේරුම් ගැනීිම නිවන් මඟ අනුගමනය කරන්නට අවශ්‍ය දැනුමයි. පාලි භාෂාව නමින් අද නම්කර, ව්‍යවහාර කරන, ව්‍යවහාර භාෂාව බුද්ධ භාෂිතයේ එන පදවලට නොයෙකුත් පුද්ගලයින් සම්මත කර පනවාගත් ව්‍යවහාර අර්ථයන් සහිත වූ පාරිභාෂිත භාෂාවකි. ඊට අමතරව ඒ ධර්ම පදවැල්ම විපස්සනා ඥාණයෙන් තේරුම්ගත හැකි ලෝකෝත්තර ධර්ම අර්ථයද අවබෝධ කරගත හැකි හැම කෙනෙක්ම නිවන් අවබෝධයට සුදුසකම් ලබන ”පදපරම” නොවන පුද්ගලයින්ය.
ගිහිගෙයි සිටින ඔබට අනන්ත අප‍්‍රමාණ බැඳීම්ය. දරුවන්ගේ, නෑදෑයින්ගේ, මිත‍්‍රයින්ගේ, රටවැසියන්ගේ, හිතවතුන්ගේ වැඩ රාජකාරි නිමවා, නිදහසක් ලබාගන්නට අපට මේ ජාතියේදී නම් හැකියාවක් නැත. මේ ආදී වශයෙන් සිතන සියලුම දෙනා පංචඋපාදානස්කන්ධය දැඩිව අල්ලා බදාගත්, ඒවා අතහැරිය නොහැකි තත්ත්වයටම හිතට වහල්වූ, සංසාර ගමන තවත් බොහෝ කාලයක් ගත කරන විඤ්ඤාණ ශක්තියෙන්ම කටයුතු කරන පෘථග්ජන පුද්ගලයින් ය.
ඒ අතරම බොහෝ අය සිතන්නේ ගිහිගෙය අත්හැර, භාවනා මධ්‍යස්ථානයකට ගොස් ලෝකයාගෙන් වෙන් වී හෝ හිමාල වනයට ගොස් සියල්ල අතහැර නිදහස් වීමෙන්ම පමණක් නිවන් දකින්නට මඟපාදාගත හැකි බවයි. එසේ සිතන්නේ ධර්මය නොදන්නා අය මිස ධර්මය දැනගත් අය නොවේ. හිමාල වනයට හෝ ආරඤ්ඤයට හෝ ගියද තම සිත දමනය කරගත නොහැකි නම් ඉන්ද්‍රියයන් සංවර කරගත නොහැකි නම් සිතෙහි රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල සිතුවිලි නිරෝධ කර කුණුමුල් සළා හැර, නිදහස් විය නොහැකි නම් ඒ පුද්ගලයාට නිවනක් නැත. යමෙක් තම නිවසේම සිට ධර්මය අසා, සිත දමනය කර, උපාදානය කර ඇති පංචඋපාදානස්කන්ධයම සිතින් මුදාහැර රාග, ද්වේෂ, මෝහ මුල් කපාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගන්නේ නම් එතැනම නිවනද ඇත. මේ අනුව පන්සලක, කැලයක, ආරඤ්ඤයක, භාවනා මධ්‍යස්ථානයක හෝ හිමාලය වනයේ නිවන නැති බවත් තමාගේම සිත තුළින්ම නිවන් අවබෝධය ලැබිය යුතු බවත් සෑම බෞද්ධයෙකුම තේරුම් ගත යුතුයි.
3. මහා නිධාන සූත්‍රයේ ලාභ පර්යේෂණ පටිච්ච සමුප්පාද විග්‍රහය
දීඝ නිකායේ, මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය විභංගප‍්‍රකරණයේ හා මහා වග්ගපාලියෙහි ඇතුළත් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයට වඩා වෙනස් ආකාරයේ විග‍්‍රහයකි. මෙහිදී අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේම වෙනත් පැතිකඩක් විග‍්‍රහවන බවත් තේරුම් ගත යුතුය.
මජ්ක්‍ධිම නිකායේ සඳහන් අරිය පර්යේෂණ සූත‍්‍රයේ විග‍්‍රහ කර පෙන්වා වදාරා ඇත්තේ අරිය තත්ත්වයට පත්වීමට උපකාර වූ බුද්ධත්වයට පත්වන්නට මඟ හෙළි කරදුන් තමන් වහන්සේම පර්යේෂණ කර සොයා දැනගත් විපස්සනා පර්යේෂණ පිළිබඳවයි. සංසාර ගමනට මුල් වූ, නිදාන වූ හේතුව අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද නිරෝධ කිරීමෙනුත්, කුසලමුල පටිච්චසමුප්පාද භාවිතා කිරීමෙනුත් රිය අරිය තත්ත්වයට පත්කර ගති හැකි බව මේ අරිය පර්යේෂණයෙන් යථා පරිදි අවබෝධකර ගත්හ. මහා නිධාන සූත‍්‍රයේ ගෙනහැර දක්වා වදාළේ් අරිය පර්යේෂණවලට විරුද්ධ පැත්ත වන රිය පර්යේෂණ පිළිබඳවයි. මේ රිය පර්යේෂණ, ලාභ පර්යේෂණ ලෙසින්ද මහා නිදාන සූත‍්‍රයේම සඳහන් කර ඇත. පෘථග්ජන ලෝක සත්ත්වයා ලාභ පර්යේෂණ කරමින් නිරන්තරවම ලාභ පර්යේෂණ සඳහාම යොමු වෙමින් තම තමන්ම එකතු කරගන්නා උපාදානය කරගන්නා සමුදය කරගන්නා පංචඋපාදානස්කන්ධයම සංසාර ගමනටද හේතුවන බව මෙහිදී ඉතාමත් පැහැදිළිව විග‍්‍රහ කර ඇත. අරිය පර්යේෂණ පිළිබඳව නිවැරදිවම කෙනෙකුට තේරුම් ගතහැකි වන්නේ මහානිදාන සූත‍්‍රයේ පෙන්වා වදාළ රිය පර්යේෂණ (ලාභ පර්යේෂණ) පිළිබඳවද තේරුම් ගන්නට හැකියාව ලැබුණොත් පමණි. මේ අදහස ඇතිවම ආනන්ද හිමි බුදුපියාණන් මහා නිදාන සූත‍්‍රයේ සඳහන් මෙම ලාභ පර්යේෂණ, අනරිය පර්යේෂණ, රිය පර්යේෂණ විග‍්‍රහයන් දේශණාකර වදාළ බවත් පෙනේ. ලෝක සත්ත්වයා දිගින් දිගටම සංසාර දුකට වැටී දුක් විඳින්නේම තමන්ම යමක් එකතු කරගන්නට, උපාදානය කරගන්නට කරනු ලබන්නා වූ ලාභ පර්යේෂණයන් නිසාම බවත් කවදා හෝ මේ සත්‍යයන් අවබෝධ කරගන්නා තුරුම ලාභ පර්යේෂණ කරමින් හේතුඵල පරමිපරාවකට බැඳී ඒ හේතුඵල පරම්පරාවම නිධානය කොට, ප‍්‍රත්‍ය කොට, සමුදය කොට සංසාර ගමනේ යෙදෙන බවත් (රිය ගමන) යන බවත් පෙන්වා වදාළහ. රිය ගමනට හේතුව නිවැරදිවම තේරුම් ගත් කෙනෙකුට පමණක් රිය අරිය කළ හැකි බවද මෙයින් පෙන්වා දී ඇත. මහා නිදාන සූත‍්‍රයේ ගෙනහැරපා වදාළ පටිච්චසමුප්පාද විග‍්‍රහය මෙසේය.
“ජාති පච්චයා ජරා මරණන්ති ඉති ඛෝ පනෙතං වුත්තං තදානන්‍ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා ජාති පච්චයා ජරා මරණං ජාති චාහි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම්හිචි සොය්‍යතිදං….. තේසං තේසංච ආනන්ද සත්තානං තථත්තාය ජාති නා භවිස්ස සබ්බසෝ ජාතියා අසති ජාතිනිරෝධා අපි නු ඛෝ ජරාමරණං පඤ්ඤායෙථාති නො හේතං භන්තේ. තස්මානිහානන්‍ද එසේව හේතු, ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජරාමරණස්ස යදිදං ජාති
ඉති ඛෝ පනේතං ආනන්‍ද
වේදනං පටිච්ච තණ්හා
තණ්හා පටිච්ච පරියේසනං
පරියේසනා පටිච්ච ලාභෝ
ලාභං පටිච්ච විනිචජයෝ
විනිචජයං පටිච්ච ඡන්‍දරාගේ
ඡන්‍දරාගං පටිච්ච අපේඣාසානං
අපේඣාසානං පටිච්ච පරිග්ගහෝ
පරිග්ගහං පටිච්ච මච්ජරියං
මච්ජරියං පටිච්ච ආරක්ඛෝ
ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩදාන…
අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තී.’’
අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේ ඇතුළත් වේදනා, තණ්හා, උපාදාන, භව යන අවස්ථාවන්ගෙන් තණ්හා සහ භව අතර සිදුවන පටිච්ච සං උත්පාද ධර්මතාවය මෙහිදී ලාභ පර්යේෂණ වශයෙන් නැවතත් අවස්ථා නවයකදීම දියුණුවන ආකාරය (ප‍්‍රත්‍ය වීම) පෙන්වා දී ඇත. තැනකට හාවූ පසුව සිතින්ම කරනු ලබන ලාභ පර්යේෂණ හේතුවෙන්ම ලෞකික වශයෙන්, භෞතික වශයෙන් සියලු සත්ත්වයා මිහිපිට ඇති බොහෝ දේ අයිති කර ගන්නට, උපාදානය කරගන්නට කරනු ලබන ක‍්‍රියාදාමයත්, ඒ නිසාම කරන්නට සිදුවන දඬුමුගුරු ගැනීම, මිනිසුන්, සතුන් මැරීම ආදී සියලු ආකාර වූ පාපී ක‍්‍රියාවලට මුල්වන එකම හේතුවත් මේ ලාභ පර්යේෂණයන් කිරීමම බව මෙහිදී පැහැදිළිවම පෙන්වා ඇත. මේ සියල්ලමත් සිත තුළම ක‍්‍රියාත්මක වන දේය.
පෘථග්ජන මිනිසෙකුට මේ ලෞකිකත්වය තුළින් මොනයම් දෙයක් හෝ අල්ලා උපාදානය කරගන්නට කරනු ලබන සියලු ආකාර වූ උත්සාහයන් ලාභ පර්යේෂණ කොටසටම ඇතුළත්ය. ලෞකික ධ්‍යානයක් ලබා ගන්නට පවා කරනු ලබන සියලු උත්සාහයන්ද මීටම ඇතුළත් බව මෙයින් දැනගත යුතුය. අනරිය වූ ධ්‍යාන අෂ්ට සමාපත්ති, ඍද්ධි ප‍්‍රාතිහාර්යයන්, අභිඥා යන සියලු දේ ලාභ පර්යේෂණ කොටසටම අයත්වේ. මාර්ගඵල හා අරිය ධ්‍යානයන් පමණක් අරිය පර්යේෂණ කොටසකට ගැනෙන බව මෙයින් පැහැදිළිවම දේශණා කර වදාළ සේක. මහානිධාන සූත‍්‍රයේ මෙතරම් විග‍්‍රහ සහිතව විස්තර සහිතව ප‍්‍රකාශකර වදාළේ පෘථග්ජන ලෝක සත්ත්වයාට නිවන් මඟ වැසී, සංසාර දුකට පත් වී, ලෞකිකත්වය තුළම හිර වී, මංමුලා වී රිය ගමන යන්නට මුල්වන හේතුව පැහැදිළි කිරීමයි. මේ සූත‍්‍රයේ දක්වා ඇත්තේ නිවන් මඟට උපකාරවන කරුණු නොව නිවන වසා සිටින කරුණුය. සියලුම පාථග්ජන ලෝක සත්ත්වයා දහදුක් විඳිමින් මුළු ජීවිත කාලයම උත්සාහ දරන්නේ මෙවන් වූ කුණු පොදියක් ආශාවෙන්, තණ්හාවෙන් එකතුකර ඒ කුණු පොදියක හිමිකරුවා වීමටය. සියලුම ලාභ පර්යේෂණ කරන්නේ සංවර්ධනය කරන්නේ මේ පංචඋපාදානස්කන්ධයම නැවත නැවතත් තව තවත් අල්ලා බදාගැනීමේ ඒකායන අරමුණු ඇතිවය. මෙසේ අල්ලා උපාදානය කරගන්නා පංචඋපාදානස්කන්ධයන් හැර වෙන කිසිම දෙයක් නිසා තමන් ලෝකයාට බැඳී නැත. ඒ පංචඋපාදානස්කන්ධයන්ම නිසා බිමට බරක් වී ඇත. සංයෝජන දහයකටම බැඳී ඇත. මරණ මොහොතේ මාරයාට ණය ලෙසින් ආපසු ගෙවන්නට සිදු වන්නේ ද මෙසේ අල්ලාගත් උපාදානය කරගත්, ණයට ගත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන්මය.
සත්ත්වයා අතර මිනිසුන් අතර සියලු සමාජගත ප‍්‍රශ්ණ ඇතිවන්නට හේතුවත් තරඟය, බලය, ධනය, නිලය වැනි ප‍්‍රශ්ණ ඇතිවන්නට හේතුවත්, යුද්ධ කලකෝලාහල ඇතිවන්නට මූලික හේතුවත්, නිධාන හේතුවත්, මනාකොට පැහැදිළි කර විග‍්‍රහකර පෙන්වා දුන්නේ මහානිධාන සූත‍්‍ර දේශණාවෙනි. සක්ක පඤ්ඤ, කලහ, විවාද සූත‍්‍ර වලින්ද මහානිධාන සූත‍්‍රයේ ගෙනහැර පා වදාළ ලාභ පර්යේෂණ, රිය පර්යේෂණ නියාය, තවදුරටත් උදාහරණ සහිතව විස්තර කර ඇත. මේ අනුව බලන කළ ඉතාමත් සුපරික්‍ෂාකාරීව දැකගත හැකි වැදගත්ම කරුණක් නම් මුළු බුද්ධ දේශණාවේම සඳහන් සියලුම සූත‍්‍ර ධර්මවලින් විග‍්‍රහ කර ඇත්තේ පටිච්චසමුප්පන්න නියායයේම අඩංගු මූලධර්මයන් විවිධාකාරයෙන් විග‍්‍රහ කර, විභජනය කර ඉදිරිපත් කිරීමකි. අද මේ උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්නට නොහැකිව ඇත්තේ පටිච්චසමුප්පාද ධර්මයම විකෘති කර අර්ථයන් යටපත් කළ නිසයි. ”ඉච්ච” යන පදයේ අර්ථය නොදැනීමත්, සංදේශණාව යටපත්වීමත් නිසා සං උත්පාද, සමුදය වන ආකාරය තේරුම් ගැනීමට නොහැකි වී ගිය පසුව අද පදවැල් කියව කියවා නිවනක් පතති.
”පටිඉච්ච” යනු කැමැත්තට බැඳීමයි. අනිච්ච යනු එසේ කැමැත්තට බැඳුණු පසු කැමැති වූ දේ, කැමැති වූ ආකාරයට පැවැත්විය නොහැකි යන නියත ධර්මතාවයයි. දුක බිහිවන්නේ පටිඉච්ච වූ දෙයක නියත ලක්ෂණය වූ අනිච්ච බව තේරුම් නොගැනීම නිසයි. අනිච්ච ධර්මතාවය තේරුම් ගෙන එවන් අනිච්ච වූ දෙයකට නොබැඳී පටිඉච්ච නොවූයේ නම් දුකක් උරුම වන්නේ ද නැත.
විචිකිච්චාවෙන් කටයුතු කරන කෙනෙකුට පටිඉච්ච හෝ අනිච්ච යන ධර්මතාවන් කිසිවක්ම නුවණින් දැනගන්නට නොහැකි වෙයි. මේ නිසා ”විචිකිච්ච” යන්න තේරුම් ගෙන විඤ්ඤාණ චිත්තයේ කැමැත්තටම වහල්වී කටයුතු කිරීමෙන් වැළකී අනිච්ච ධර්මතාවය මෙනෙහි කරන්නට පුරුදු වුවහොත් ඒ පුද්ගලයා නිවන් දකින්නට සුදුසු තත්ත්වයටම පත් වූවෙකු වෙයි.
එවන් පුද්ගලයා අභිජ්ජාවෙන් මුළා නොවෙයි. උද්ධච්ච, කුක්කුච්ච යන ගති ලක්ෂණවලින් ද ඉවත් වෙයි. මේ නිසා ”ඉච්ච” යන පදයෙන් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ පදයේ තේරුම නිවැරදිවම තේරුම් ගන්නා තුරාවට, කෙනෙකුට නිවන් අවබෝධ කරගත නොහැකි වෙයි. පෘථග්ජනයා යනු තම සිතේ පහළවන කැමැත්තට වහල්වී, කැමති දේ එකතුකරන්නට උත්සාහ දරමින් කුණු එකතුකර ගන්නා පුද්ගලයායි.

No comments:

Post a Comment